Trending Newsඑසැන පුවත්දේශීය

බහාලුම් නිදහස් කිරීම ගැන එල්ලවන චෝදනාවලට පිළිතුරුදීමට රේගුවෙන් මාධ්‍ය හමුවක්

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව එල්ලවන චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (08) විශේෂ  මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

එහිදී අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ අදාළ බහාලුම් තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් රැගෙන විත් නැති බවය.

එම බහාලුම් නිදහස් කිරීමට පෙර ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කර මෙම බහාලුම් නිදහස් කිරීමට පියවර ගත් බවත් රේගුව විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් කිසිදු නීති විරෝධි දෙයක් අදාළ බහාලුම් තුළ අන්තර්ගතව නොතිබූ බවට තමන් විශ්වාස කරන බවත් අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා,

“ආනයනය කරපු මේ බහාලුම්වල තිබුණේ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ප්ලාස්ටික්, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සත්ව ආහාර, මැෂින් වර්ග, පලිබෝදනාශක, සිමෙන්ති, යකඩ පයිප් වර්ග, පොහොර, සිමෙන්ති, දැව වගේ දේවල් තමයි අඩංගු වෙලා තිබුණේ. මේ බහාලුම් ආනයනය කරලා තිබුණේ ඉන්දියාවෙන් සහ චීනයෙන් තමයි ගොඩක්ම. ඊට අමතරව ඉන්දුනිසියාව, හොංකොංග්, සිංගප්පූරුව, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වගේ රටවලිනුත් මේ බහාලුම් ආනයනය කරලා තිබුණා. 

මේ බහාලුම් නිදහස් කිරීමේදි අපි අනුගමනය කරන ලද ක්‍රමවේදය නිසා අපි විශ්වාස කරනවා මේ බහාලුම්වල තිබුණේ ආනයනකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණයි කියලා. මේ භාණ්ඩ නිදහස් කිරීමේ ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කරලා තමයි මේ බහාලුම් නිදහස් කිරීම සිදු කළේ. 

පහුගිය කාලේ අපිට චෝදනා නගලා තිබුණා. ආයුද තියෙන්න පුළුවන් කියලා. නැත්නම් රත්‍රං තියෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය තියෙන්න පුළුවන් කියලා… ඉතිං අපි තෝරාගන්න මේ ක්‍රමවේද  අනුගමනය කරපු නිසා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ බහාලුම්වල ඔය කියන කිසිම දෙයක් තිබුණේ නෑ කියන එක. 

කෙසේ වෙතත් මේ සම්බන්ධව දැඩි කතා බහක් ඇති වෙලා තියෙන නිසාම ශ්‍රී ලංකා රේගුව මේ සඳහා පශ්චාත් නිශ්කාශන විගණනයක් සිදු කිරීමට තීරණය කරලා තියෙනවා. ඒ සඳහා පශ්චාත් නිගමන අංශයෙන් මේ වන විටත් විගණනයක් සිදුකරමින් යනවා. ඒ වගේම මුදල් අමාත්‍යංශ ලේකම්තුමා විසින් පත්කරන ලද ඉහළ පෙළේ කමිටුවක් මගින් මේ සමස්ත ක්‍රියාදාමයම විමර්ශනයට ලක් කරලා තියෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සියලුම නිලධාරීන් මේ කමිටුවට ගිහිල්ලා විස්තර ලබා දීලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අපි විස්තර ලබා දීලා තියෙනවා ඒ නිසා අපිට කිසිම සැකයක් නැහැ.

ඒ වගේම මේ බහාලුම් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියේදී වෙන කිසිම පාර්ශ්වයකින් අණක් හෝ බලපෑමක් සිදුවුණේ නෑ. ඒක මට බොහොම ස්ථීරවම කියන්න පුළුවන්.

2025 ජනවාරි මස 18 වැනිදා නිදහස් කරපු බහාලුම් ගැනනේ මේ කතා බහ ඇති වුණේ. එදින නිදහස් කරපු බහාලුම් අතර ආනයනයකරුවන් 180 දෙනෙක් හිටියා. රේගු සටහන් අංක 234ක් අපිට මේ ආනයනකරුවන්ගෙන් ලැබුණා. ඒ තුළින් අපි බහාලුම් 309ක් තමයි නිදහස් කරලා තියෙන්නේ. බහාලුම් 371ක් තිබුණා. එයින් 62ක්ම අපේ දත්ත පද්ධතිය මගින් ඔටෝ නිදහස් වෙච්ච ඒවා. එතකොට මේ කමිටුව මගින් 309යි අපි නිදහස් කළේ. 

එතකොට ඒ ආනයනකරුවන්ට අදාළ සියලු විස්තර අපි සතුව තියෙනවා. ඔවුන්ගේ නම් ලිපිනය, ඔවුන්ගේ සමාගමක් නම් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කවුද, මේවා නිශ්කාශනය කළේ කවුද කියන සියලු විස්තර අපි ගාව තියෙනවා. ඒ වගේම බහාලුම් අංකත් අපි සතුව තියෙනවා. මේ සියලු විස්තර අපි අවශ්‍ය තැන්වලට සපයලා තියෙනවා. 

අපි අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් හරහා තමයි තෝරගන්නේ මොනවාද පරීක්ෂා කළ යුත්තේ මොනවාද පරීක්ෂා නොකළ යුත්තේ කියලා. මම කළින් කියුවා වගේම 60%ක ප්‍රමාණයක් අපි පරීක්ෂා නොකර යවනවා. පරීක්ෂා නොකර බහාලුමක් නිදහස් කරනවා කියන එක රේගුවට අලුත් දෙයක් නෙමෙයි. ඒක එදාත් සිද්ධ වුණා, අදත් සිද්ධ වෙනවා ඉදිරියටත් සිද්ධ වෙනවා. මේ අවදානම මත තමයි අපි තීරණය ගන්නේ.

Related posts

Oil prices steady as OPEC supplies weigh but Iran sanctions loom

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අදත් හවසට වැසි

Mohamed Dilsad

කොවිඩ් – 19 අරමුදලේ ශේෂය මිලියන 609 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment