දේශීය

කොවිඩ් 19 අරමුදලට යැයි පවසමින් මුදල් වංචා කිරීමේ තොරතුරු වාර්තා වෙයි

(UTV | කොළඹ) – “කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල” ට යැයි පවසමින් මුදල් එකතු කිරීමේ සිද්ධි කිහිපයක් පිළිබඳ තොරතුරු ජනාධිපති කාර්යාලයට වාර්තා වී තිබේ.

ජනාධිපති ලේකම්වරයා ඉල්ලා සිටින්නේ අරමුදලට සෘජුව මුදලින් හෝ චෙක්පතකින් හෝ වෙනත් පිළිගත් ගෙවීම් මාර්ගයකින් දායක වනු හැර කිසිවෙකුට හෝ සංවිධානයකට මුදල් නොගෙවන ලෙසයි.

රජය “සෞඛ්‍ය නිරෝධායනය” සඳහා සමස්ත ජනතාව යොමුකර තිබේ.

ඔවුන්ගේ ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදාහැරීම සෞඛ්‍ය බලධාරීන්ගේ හා මැතිවරණ කොමිෂන් සභාවේ නීතිරීති හා උපදෙස් අනුව සිදු කෙරේ.

මෙවැනි වංචනික ක්‍රියා පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන්නැයි ජනාධිපති ලේකම්වරයා දැනුම් දෙයි.

දුරකථන අංක 011 – 2354479 /011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා ඇමතීමෙන් වැඩි විස්තර දැන ගැනීමට හැකි වේ.

බැංකුව වෙත කළ සෘජු තැන්පත් කිරීම් සමඟ අද (02) වන විට අරමුදල වෙත බැර වී ඇති මුදල රුපියල් මිලියන 314.5 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ටෙලිකොම් ඉංජිනියර්ස් බෙනවලන්ට් අරමුදල සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් ඉංජිනේරු සංගමය රුපියල් මිලියනය බැඟින් ද, කාගිල්ස් (සිලෝන්) පීඑල්සී ආයතනය රුපියල් මිලියන 50 ක මුදලක් ද අද අරමුදල වෙත පරිත්‍යාග කර තිබේ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහුද ගිණුමට දායක වී සිටිති.

නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

Related posts

මෙරට එන්නත්කරණයේ ප්‍රගතිය

Mohamed Dilsad

ලබන 25 සහ 26 නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු

Mohamed Dilsad

සියලු පාසල් ,සරසවි සහ උපකාරක පන්ති යළි දැනුම්දෙන තුරු වැසේ

Mohamed Dilsad

Leave a Comment