Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධනට අධි චෝදනා

2014 වසරේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට කොළඹ මහාධිකරණය හමුවේ අද (30) අධිචෝදනා පත්‍ර භාරදුන්නේය.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ විත්තිකරුවන්ට භාර දෙනු ලැබීය. ඉන් අනතුරුව විත්තිකරුවන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය විනිසුරුවරයා විමසා සිටියේය. 

එම අවස්ථාවේ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය සඳහන් කළේ, විත්තිකරුවන් සුදුසු ඇපකරුවන් මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවය.

ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් මිලියනය බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් නියම කළේය.

එම අවස්ථාවේදී  විත්තිකාර ජයන්ත එදිරිසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණය හමුවේ කරදක්වමින් මෙම අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා මතු කිරීමට අපේක්ෂා කරන බව පැවසුවේය.

එහිදී විනිසුරුවරයා කියා සිටියේ, විත්තිකරුවන්ට චෝදනා කියවා දීමෙන් අනතුරුව එම මූලික විරෝධතා මතු කරන ලෙසය.  ඊන අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 20 වනදා කැඳවීමට ද නියම වුණි.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් කිහිපයක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් 11ක අතිරේක පළ කිරීම තුළින් රජයට 1,748,877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා සංඛ්‍යාව  05කි. සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු නම් කර තිබෙන අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21 ක්ද ඉදිරිපත් කර තිබේ.

Related posts

නාවික හමුදාවේ 1,877කට උසස්වීම්

Mohamed Dilsad

අගමැති සර්ව පාක්ෂික හමුවක් කැඳවයි

Mohamed Dilsad

Withholding tax to be removed from January

Mohamed Dilsad

Leave a Comment