Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයට දැඩි විරෝධයක්

සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවලදී ගත් තීරණ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට දැඩි විරෝධයක් පළ කර තිබේ.

මෙම ගැටලු විසඳීමට කඩිනමින් පියවර නොගතහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවට සංගමය අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මගින් වෛද්‍ය සංගමය කියා සිටින්නේ, අමාත්‍යවරයා සමඟ එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන් අපොහොසත් වී ඇති බවයි.

මෙම තත්ත්වය පිළිබඳව සංගමය දැඩි කලකිරීමට පත්ව ඇති බව එම ලිපියේ සඳහන් වේ.

සංගමය ඉල්ලා සිටින ප්‍රධාන කරුණු මෙසේය.

  • පශ්චාත් සීමාවාසික පුහුණුවෙන් පසු ස්ථානගත කිරීමේ ලැයිස්තුව සමාලෝචනය කර, ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතිය සහිතව නැවත ප්‍රකාශයට පත් කිරීම.
  • මෙම වසර සඳහා ස්ථාන මාරු මණ්ඩලයේ එකඟත්වය ඇති දුෂ්කර ස්ථාන ලැයිස්තුව අඛණ්ඩව පවත්වාගෙන යාම සහ අනුමත නිර්ණායකවලට අනුව එය සංශෝධනය කිරීම.
  • අනියම් ලෙස සහ නීති රීතිවලට පටහැනිව වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් 2025 වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවට සිදු කළ ඒකපාර්ශ්වික වෙනස්කම් අවලංගු කර, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමත ක්‍රියාපටිපාටියට අනුව නැවත ලැයිස්තුව සකස් කිරීම.

එකඟ වූ තීරණ නිසි පරිදි ක්‍රියාත්මක නොකළහොත්, එම දිනටම නියමිත හදිසි විධායක කමිටු රැස්වීමකින් පසු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමුවීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

සෞඛ්‍ය සේවා බිඳවැටීමක් වැළැක්වීම සඳහා වගකිව යුතු නිලධාරීන්ට අමාත්‍යවරයාගේ උපදෙස් ක්‍රියාත්මක කිරීමට වහාම මැදිහත් වන ලෙස සංගමය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

එලෙස උපදෙස් නිසි පරිදි සහ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමෙන් ඇතිවන සියලු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල වගකීම අමාත්‍යාංශ නිලධාරීන් වෙත සම්පූර්ණයෙන්ම පැවරෙන බව ද සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා එම ලිපිය මගින් දන්වා ඇත.

Related posts

මෙරටින් සොයාගත් කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

ඊශ්‍රායල – ඉරාන ගැටුම්කාරී තත්ත්වය ගැන, විපක්ෂය විවාදයක් ඉල්ලීමෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.

Editor O

බැංකු ණය පොළිය සියයට 7 දක්වා අඩු කිරීමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment