විදෙස්

විරෝධතා මඩින්න බ්‍රිතාන්‍යයේ නව නීති

(UTV |  බ්‍රිතාන්‍ය) – විනාශකාරී විරෝධතා නැවැත්වීම සඳහා නව නීති ඇතුළත් පනත් කෙටුම්පතක් ලබන සතියේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් වෙයි.

බ්‍රිතාන්‍යයේ නව ස්වදේශ කටයුතු ඇමතිනී සුවෙලා බේ‍රවමන් (Suella Braverman) මෙම නව නීති ඇතුළත් මහජන ආරක්‍ෂක කෙටුම්පත පිළිබඳව හෙළිදරව් කළා ය.

මූලික යටිතල පහසුකම් සහ භාණ්ඩවලට බරපතළ විනාශයක් කෙරෙන විරෝධතා අවහිර කිරීමට මෙම නව නීති මගින් අමාත්‍යවරුන්ට බලය පැවැරේ.

‘දේපළ විනාශ කිරීමට මානව හිමිකමක් නැතැයි’ මෙම මස මුලදී පැවැති පාලක කන්සර්වේටිව් පක්‍ෂ සමුළුව අමතමින් ද ඈ ප්‍රකාශ කර තිබුණා ය.

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ඇමතිනී සුවෙලා බේ‍රවමන් හඳුන්වා දෙන මෙම පනත් කෙටුම්පත මගින් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය ලේකම්වරුන් වශයෙන් හැඳින්වෙන විෂයභාර අමාත්‍යවරුන්ට මහජන ආරක්‍ෂාව සම්බන්ධයෙන් විනාශකාරී හෝ අහිතකර බලපෑමක් ඇතිවන ආකාරයේ විරෝධතාවක් අත්හිටුවීම සඳහා අතුරු තහනමක් ඉල්ලා සිටීමට හැකිවෙයි.

යෝජිත නීතිය මගින් තෙල් පිරිපහදු, ගුවන්තොටුපළ සහ දුම්රිය වැනි යටිතල පහසුකම්වලට මැදිහත්වීම නව අපරාධ වරදක් ලෙස හඳුන්වා දී ඇති අතර එය මාස 12ක් දක්වා කාලයක් සිර දඬුවමකින් දඬුවම් ලබා දිය හැකි වරදක් ද වේ. එසේ ම එවැනි යටිතල පහසුකම් සැපයෙන ස්ථානවලට යටින් උමං සාදා ඒවාට හානි කිරීම සඳහා තුන් වසරක් දක්වා උපරිම සිර දඬුවමක් පනවා ඇති අතර සමහර විරෝධතාකරුවන් කරා වඩා කාර්යක්‍ෂමව ළඟා වීමට පොලිසියට ද නව බලතල ලබා දෙයි.

“අපගේ හදිසි අවස්ථා සේවාවක් අවශ්‍ය අය වෙත ළඟාවීමට බාධා කිරීම සමාව දිය නොහැකි, පිළිකුල්සහගත, ආත්මාර්ථකාමී එමෙන් ම මහජන සුබසාධනය නොතකන ක්‍රියාවක්,” යැයි ස්වදේශ කටයුතු ඇමැතිනී සුවෙලා බේ‍රවමන් කියන්නීය.

එහෙයින් ජයග්‍රහණ වෙනුවට පරාජයන් හිමිකර දෙන විරෝධතා උපක්‍රම සමග ගැළපෙන අයුරින් පොලිසිය ශක්තිමත් කිරීම සඳහා වඩා දැඩි බලතල පොලිසියට ලබාදිය යුතු අතර මහජන ආරක්‍ෂක පනත් කෙටුම්පතින් එය කෙරෙනු ඇති බව ද සුවෙලා බේ‍රවමන් කියා සිටී.

විශේෂයෙන් ම, Extinction Rebellion වැනි පාරිසරික සංවිධාන ද Just Stop Oil වැනි ඉන්ධන භාවිතයට එරෙහිව ක්‍රියාත්මක විරෝධතා කරන කණ්ඩායම් ද ඉලක්ක කර ගනිමින් මෙම නව නීති ගෙන ඒමට බ්‍රිතාන්‍ය අදහස් කර ඇත. එම සංවිධාන ප්‍රතිචාර දක්වමින් මෙවැනි නීතිවලට තමන් බිය නොවන බව කියා තිබේ.

Related posts

දේශපාලඥයින්ගේ වාහන වලට රතු ලාම්පු සවි කිරීම තහනම්

Mohamed Dilsad

දකුණු අප්‍රිකාව Oxford-AstraZeneca එන්නත දීම අත්හිටුවයි

Mohamed Dilsad

පෑනකින් කොරෝනා වෛරසය ආසාදනය වෙයි

Mohamed Dilsad

Leave a Comment