වසර 76ක ඉතිහාසයේ ප්‍රථම වතාවට, දශ ලක්ෂ ගණනින් ඡන්ද දී පාර්ලිමේන්තුවේ 225න් 159ක බහුතරයක් වත්මන් ආණ්ඩුවට දීලත්, ජනතාව තම ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
උත්තර සහ විසඳුම් අපේක්ෂාවෙන් වත්මන් ආණ්ඩුවට විශාල බලයක් ලබා දුන්නද, ඔවුන්ගෙන් අපේක්ෂිත විසඳුම් නොලැබෙන විට රට මෙම තත්ත්වයට පත්ව ඇති බව ඒ මහතා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනයේ කටියාව ප්‍රදේශයේ පැවැති ‘ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා’ වැඩසටහනකට සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි.
ලංකාවේ පළමු ගොවි ජනපදය ආරම්භ වූ කලාවැව භූමියේ සිටින ගොවියා වත්මන් රජයෙන් ලැබෙන සහයෝගය ගැන සතුටුද යන්න තමන් මෙහිදි ප්‍රශ්න කරන බවද විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට ගොවියාට හිමි බීජ ටික, පොහොර ටික සහ තෙල් පොහොර ආදිය නිසි ලෙස නොලැබෙන බව ඔහු සඳහන් කර සිටියේය. තවද, පොහොර සහනාධාරය ලැබෙන්නේ බොහෝ විට වගා කටයුතු අවසන් වූ පසුව බවත්, පොහොරවල ගුණාත්මකභාවයේ ගැටලු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
“මේවාට එක පෑන් පහරින් විසඳුම් දෙනවා” යැයි පැවසුවත්, වන අලි මිනිස් ගැටුම ඇතුළු කිසිදු ගැටලුවකට විසඳුමක් ලැබී නොමැති බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
