පාතාලය සමඟ සබඳකම් පවත්වන දේශපාලඥයන් සිටිනවා නම් තවදුරටත් කල් ගත නොකර ඔවුන්ගේ නම් ලැයිස්තුව වහාම රටට හෙළි කරන ලෙස සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කරයි.
පාතාලය සමඟ දේශපාලඥයින් සම්බන්ධකම් පවත්වන බව ජනාධිපතිවරයා ඊයේ (17) දින ප්‍රකාශ කර තිබෙන බවත් ජනාධිපතිවරයා වහාම ඒ නම්ගම් නිවැරදිව රටට හෙළිදරව් කළ යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.
විපක්‍ෂනායක කාර්යාලයේදී අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ මුජිබර් රහුමාන් මහතා තවදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් සමස්ත දේශපාලනඥයන්ට බලවත් අසාධාරණයක් සිදුවන බවයි.
පාතාලය සමඟ සම්බන්ධකම් පවත්වන දේශපාලඥයින් කවුද? පාතාලයෙන් සල්ලි ගත් දේශපාලඥයින් කවුද ?පාතාල නායකයින්ගේ නිවෙස්වලට ගිය දේශපාලඥයින් කවුද ?කියා වෙන වෙනම නම් ගම් වශයෙන් ජනාධිපතිවරයා රටට හෙළි කළ යුතු බවත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
එසේ නොමැතිව දේශපාලඥයින් පාතාලය සමඟ සම්බන්ධකම් පවත්වනවාය කියා ප්‍රකාශ කරීම නිවැරදි නොවන බවත් සමස්ත දේශපාලනඥයන්ට සාධාරණයක් ඉටු වීමට නම් ජනාධිපති ප්‍රකාශ කළ පරිදි පාතාලය සමග සම්බන්ධතා තිබෙන දේශපාලනඥයින් කවුද කියා වහාම හෙළි කළ යුතු බවත් මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් පැවසීය.
