නැගෙනහිර පළාතේ සිදු වූ පැහැරගැනීම්, අතුරුදන් කිරීම් සහ වෙඩිතැබීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ යටතේ සේවය කළ බවට සැක කෙරෙන පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.
අත්අඩංගුවේ පසුවන පිල්ලෙයාන්ගෙන් සහ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් හෙවත් ‘ඉනියභාරතී’ ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම කණ්ඩායම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
එම තොරතුරු මත, පසුගිය සතියේ මඩකලපුව සහ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශවලදී අදාළ සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, පිල්ලෙයාන් විසින් 2007-2008 කාලය තුළ මෙහෙයවන ලද සන්නද්ධ කණ්ඩායමක් මගින් මඩකලපුව දිස්ත්‍රික්කයේ සහ නැගෙනහිර පළාතේ දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් ඝාතනය කිරීම්, පැහැරගෙන යෑම් සහ අතුරුදන් කිරීම් රැසක් සිදු කර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.
