යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළ තුළ සිව්වන අදියරේ කැනීම් කටයුතු හය වන දිනටත් ඊයේ (26) පවත්වා ඇති අතර එහිදී තවත් මිනිස් සිරුරු 11කට අදාළ අස්ථි කොටස් මතුකරගත් බව කැනීම් නිලධාරීන් සඳහන් කරති..
මෙකී සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 101කට අදාළ අස්ථි කොටස් හමුවී ඇති අතර, මිනිස් සිරුරු 90කට අදාළ අස්ථි කොටස් ගොඩගෙනඇතැයි සඳහන්.
අදාළ ස්ථානය විශේෂඥ පිරිසකගේ අධීක්ෂණය යටතේ කැනීම් ආරම්භ කර ඇති අතර ඒ අනුව විවිධ අවස්ථාවලදී මෙම අස්ථි කොටස් හමුව තිබේ.
සිව්වන අදියරේ කැනීම් කටයුතු යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ එළැඹෙන මස 04 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතයි. මෙහි තුන්වන අදියරේ කැනීම් කටයුතු පසුගිය ජුනි 26 වැනිදා සිය ජූලි 10 වැනිදා දක්වා පැවැත්විණි.
මෙම සමූහ මිනිවළ සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බව මේ සම්බන්ධව නිරීක්ෂණ කටයුතු සිදුකරන නීතීඥ වී.කේ. නිරංජන් මහතා පවසයි.
