Trending Newsඑසැන පුවත්දේශීය

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම බලරහිත කරමින් අධිකරණ නියෝගයක්

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් එස්.එම්.පී. සූරිය බණ්ඩාර මහතා පත්කිරීමට ගනු ලැබූ තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය අද (08) රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

එමෙන්ම කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා 2024 වසරේ මාර්තු මස 05 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම තනතුර සඳහා පත් කරන ලෙස අධිකරණය විසින් මාර්ග සංවර්ධන අධිකාරියට සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයාට තවත් නියෝගයක්ද නිකුත් කළේය.

අදාළ පත්කිරීම අභියෝගයට ලක්කරමින් කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

නඩු විභාගයේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා සිවිල් ඉංජිනේරුවරයෙකු වන අතර ඔහු වසර 23කට ආසන්න කාලයක් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කළ පලපුරුදු සේවකයෙකු බව සඳහන් කළේය.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වූ අතර ඊට සහභාගී වූ පෙත්සම්කරු ලකුණු 61ක් ලබාගත් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබුණි.

එහෙත් තම සේවාදායකයාට වඩා අඩු ලකුණු ලබාගත් එස්.එම්.පී. සූරියබණ්ඩාර මහතා එම තනතුර සඳහා පත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය 2024 වසරේ මාර්තු 05 වනදා තීන්දු කළ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

තම සේවා දායකයාට වඩා අඩු ලකුණු ලබාගත් පුද්ගලයෙකු එම ධූරය සඳහා පත් කිරීම නීතියට පටහැනි බවත් එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් මහතා සඳහන් කළේ, මෙම පත්කිරීම සිදුකිරීමේදී වගඋත්තරකරුවන් පත්වීම් පටිපාටිය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවය.

ඒ අනුව එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි තීන්දු කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.

Related posts

இடைக்கால தடை உத்தரவை நீக்குவதற்கு மறுப்புத் தெரிவித்தது உச்ச நீதிமன்றம்

Mohamed Dilsad

“Sri Lanka provides world’s best health service”- Dr. Rajitha

Mohamed Dilsad

Meek Mill: US rapper gets new trial after 11 years

Mohamed Dilsad

Leave a Comment