දේශීය

කිඹුලාඇලේ ගුණා ඇතුළු පිරිසට චෝදනා පත්‍ර භාරදෙයි

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැංවීමේ අරමුණින් නීතිවිරෝධි අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ බවට ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් කිඹුලාඇලේ ගුණා ඇතුළු මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසකට එරෙහිව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය චෝදනා පත්‍ර ගොනු කර තිබේ.

 

ඊයේ (16) දිනයේ අදාළ චෝදනා පත්‍ර ගොනු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

 

එම පිරිස අතර ගුණසේකරන් හෙවත් කිඹුලාඇලේ ගුණා, පුෂ්පරාජා නොහොත් පූකුඩුකන්නා, මෙහොමඩ් අස්මීන්, සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු, ලඩියා චන්ද්‍රසේන, ධනුක රොෂාන්, වැල්ලේ සුරංග, ධනරත්න නිලුක්ෂාන් සහ තිලීපන් යන ශ්‍රී ලාංකිකයින් 10 දෙනා මෙන්ම ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු ද වන බව සඳහන් වෙයි.

 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මුල් කරගනිමින් දිගුකලක සිට නීතිවිරෝධි ගිනිඅවි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවූවන් බවට හඳුනාගෙන තිබූ මොවුන් පසුගිය වසරේ ඉන්දියාවේ තිරුචිහි සරණාගත කඳවුරක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.

 

පාකිස්තානයේ අවි සහ මත්ද්‍රව්‍ය සැපයුම්කරුවකු වන හාජි සලීම් නම් ජාවාරම්කරු සමඟ එක්වී කිඹුලාඇලේ ගුණාගේ කණ්ඩායම කටයුතු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබූ බව සඳහන් ය.

 

මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම හරහා එල්.ටී.ටී.ඊ සංවිධානයට යළි ගොඩනැංවීමට මුදල් ලබාදීම වෙනුවෙන් මොවුන් කටයුතු කර ඇති අතර එම ජාවාරම් මගින් ලැබෙන ආදායමෙන් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති බවට ද විමර්ශනවලදී අනාවරණය වූ බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය චෝදනා පත්‍රයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.

 

ජාවාරම සඳහා භාවිත කළ ජංගම දුරකතන, සිම් කාඩ්පත් සහ විවිධ ඩිජිටල් උපාංග, මත්ද්‍රව්‍ය ගනුදෙනුවලට අදාළ ලියකියවිලි මෙන්ම මුදල් හා රත්‍රං තොගයක් ද සැකකරුවන් සතුව තිබී සොයාගත් බවද විමර්ශන නිලධාරීන් පෙන්වාදී තිබුණි.

 

 

Related posts

උසස් පෙළ කල් යන ලකුණු

Mohamed Dilsad

මැන්ඩි සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

🔴 BREAKING : නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment