Trending Newsඑසැන පුවත්දේශීය

විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි

රජයේ වියදම් ඇතුළත් 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

වත්මන් ආණ්ඩුව දෙවන අයවැය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි.

එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් වේ.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618ක් වෙන් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 596ක් වෙන්කර ඇත.

එළැඹෙන වසර වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 554කි.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455ක් වෙන්කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබේ.

එළඹෙන අයවැයෙන් ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය ලෙස වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 11ක් වේ.

එය 2025 වසරේ ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය ලෙස වෙන්කර තිබූ රුපියල් බිලියන 2.7ක මුදලට වඩා බිලියන 8ක පමණ වැඩිවීමකි.

ප්‍රධාන වශයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් බිලියන 8.29ක මුදලක් වෙන්කර තිබීම මෙලෙස වැය ශීර්ෂය ඉහළ යාමට හේතු වී ඇත.

එමෙන්ම 2026 විසර්ජන පනත් කෙටුම්පතින් විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 488ක් වෙන්කර තිබේ.

2026 වර්ෂය සඳහා වියදම් පියවා ගැනීමේදී දේශීය හා විදේශීය වශයෙන් ලබාගත හැකි උපරිම ණය සීමාව රුපියල් බිලියන 3800ක් ලෙස දක්වා ඇති අතර එය නොඉක්මවිය යුතු බව විසර්ජන පනත් කෙටුම්පත මගින් දක්වා ඇත.

මේ අතර 2026 අයවැය පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ සැප්තැම්බර් 26 වැනිදාය.

විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් මුදල් අමාත්‍යවරයා වශයෙන් අයවැය යෝජනා ඇතුළත් ජනාධිපතිවරයාගේ අයවැය කතාව නොවැම්බර් 7 වැනිදා සිදුකිරීමට නියමිතය.

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට නොවැම්බර් 14 දක්වා දින 6ක් පැවැත්වෙන අතර එදින පස්වරු 6.00ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

ඉන්පසු නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා දින 17ක් අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත් දෙසැම්බර් 5 පස්වරු 6.00ට අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තුව සඳහන් කළේය.
 

Related posts

Chinese State media says US should take some blame for cyber attack

Mohamed Dilsad

Lanka Premier League to be postponed to next year

Mohamed Dilsad

Street name boards only in Sinhala, Tamil, Eng. Languages hereafter

Mohamed Dilsad

Leave a Comment