Trending Newsඑසැන පුවත්දේශීය

සිංහරාජයට අයත් පරිවාර රක්ෂිතයකින් වසර 13,000 ක් පැරණි ඔප දැමූ බිම් ඇතුරුම් පාෂාණ හමුවෙයි

සිංහරාජ වනාන්තරයට අයත් පාලින්දනුවර, රූණකන්ද වනයේ, රුසිගල කඳු ප්‍රදේශයේ පිහිටි කැබැල්ල ලෙනෙන් හමු වූ සුමට බිම් ඇතුරුම් පාෂාණ ඵලක වසර 13,000ක් තරම් ඉපැරණි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බව නවීන කාල නිර්ණයන් මඟින් තහවුරු වී තිබේ. මේ ඇතුරුම් පාෂාණ වර්තමාන ‘ටයිල්’ මෙන් ඔප්නංවා, ඉතා ක්‍රමවත්ව නිම කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය සහ චීනයේ සිචුආන් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව මේ පර්යේෂණ කටයුතු සිදු කරනු ලැබූ අතර, එහිදී කැණීම් කළමනාකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පාහියංගල සුමංගල හිමියන් ‘සිළුමිණට’ ප්‍රකාශ කළේ මේ ගල්ලෙන මහා පරිමාණයෙන් ගල් ආයුධ තැනූ කර්මාන්තශාලාවක්ව පැවති බව නිගමනය කළ හැකි බවයි.

කැණීමේදී හමු වූ ඊතල තුඩු ඇතුළු ගල් ආයුධ සම්භාරය මෙන්ම බිම් ඇතුරුම් පාෂාණ ස්තරයේ දක්නට ලැබෙන කඩතොලුද මේ නිගමනයට හේතු වී තිබේ.

මේ කැණීමේදී මුහුදු බෙලිකටු සහ මෝර දත් රැසක්ද හමු වී ඇති අතර, ඒ බෙලිකටු සහ මෝර දත්වල මැද දක්නට ලැබෙන සිදුරු හේතුවෙන් ඒවා මාල පෙති (පෙන්ඩන්ට්) ලෙස පැලඳීමට භාවිත කර ඇති බවත්, මෙහි විසූ ආදි මානවයා සාගර ප්‍රදේශ ආශ්‍රිතවද කටයුතු කර ඇති බවත් නිගමනය කළ හැකි යැයි උන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ. කැණීමේදී හමු වූ නියදි අමෙරිකාවේ බීටා ආයතනයට යොමු කර, ‘සී14’ කාල නිර්ණය කටයුතු සිදු කර ඇති අතර, පර්යේෂණය පිළිබඳ පූර්ණ වාර්තාව එංගලන්තයේ පළ වන, ලොව විශිෂ්ටතම විද්‍යා ප්‍රකාශනයක් වන ‘ක්වාටර්නරි සයන්ස් රිවීව්ස්’ (Quaternary Science reviews) සඟරාවේ ජනවාරි 21 කලාපයේ පළ කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ පිහිටි එකම ප්‍රාථමික වැසි වනාන්තරය වන සිංහරාජය ආශ්‍රිතව වසර 13,000ක් තරම් ඉපැරණි ප්‍රාග් ඓතිහාසික මානව සාධක හමු වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

(දිනමිණ)

Related posts

Sri Lanka to promote smallholder agribusiness partnerships

Mohamed Dilsad

අද රාත්‍රී 10 ට යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Army postpones media briefing scheduled for today

Mohamed Dilsad

Leave a Comment