දේශීය

කොරෝනා හේතුවෙන් නැවතී තිබූ පිළිකා ප්‍රතිකාර ලබන මස සිට යළිත්

(UTV| කොළඹ) – කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවත්වා තිබූ මහරගම, අපේක්ෂා රෝහලේ ඇතැම් ප්‍රතිකාර කටයුතු ජුලි මස 01 වැනිදා සිට යළිත් ආරම්භ කරන බව එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසීය.

වසංගත තත්ත්වය හේතුවෙන් විදේශවලින් ගෙන්වන ඖෂධ ආදිය ගෙන්වා ගැනීමට නොහැකි වූ නිසා නවත්වා තිබූ අයඩීන් ප්‍රතිකාර, පෙට් ස්කෑන් කටයුතු ආදිය ඒ අනුව යළි ආරම්භ කරන බව කී අධ්‍යක්‍ෂවරයා පසුගිය කාලයේ ගුවන් ගමන් නැවතීම නිසා ලැබීම ප්‍රමාද වූ ඖෂධ ද මේ වන විට රෝහලට ලැබෙමින් පවතින බව සඳහන් කළේය.

එමෙන්ම පෙට් ස්කෑනර් යන්ත්‍රය භාවිතා කිරීමට අවශ්‍ය එෆ්.ටී.ජී නැමති රසායනිකයේ ආයු කාලය ඉතා කෙටි බැවින් එය දෛනිකව ඉන්දියාවේ සිට විශේෂ තත්ත්ව යටතේ ගෙන්වන්නට සිදුව ඇති බවත් ගුවන් ගමන් ඇණහිටීම නිසා එය ගෙන්වන්නට නොහැකිවීමෙන් පෙට් ස්කෑන් පරීක්‍ෂණ මාස 3 ක පමණ කාලයක් නවතා තිබූ බවත් වසන්ත දිසානායක මහතා පැවසීය.

විශේෂයෙන්ම පියයුරු හා ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධය දියකිරීමට අවශ්‍ය ද්‍රාවකය නොමැතිවීමෙන් එම ඖෂධය රෝගීන්ට ලබාදීමට නොහැකි වූ බවත් එයද මේ වන විට රෝහලට ලැබී ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා ඇති රෝගීන්ට ලබාදෙන අයඩීන් ප්‍රතිකාරය පසුගිය කාලයේ නවත්වා දමන්නට සිදුවූයේ ඊට අවශ්‍ය අයඩීන් නිපදවන බ්‍රිතාන්‍ය සමාගම කොරෝනා වසංගත තත්ත්වය නිසා පසුගිය කාලයේදී වසා දමා තිබූ නිසා බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

Related posts

ජාතික අධ්‍යාපන ආයතනයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් 83 ලක්ෂයට ආසන්න වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවලියේ ඡන්දය විමසීම අද

Mohamed Dilsad

Leave a Comment