ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2026 පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.
ඒ බව සඳහන් කරමින් කොමිෂම විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
නිසි කාලය තුළ විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් ලංවිම විසින් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් 2026 පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කරන ලදී. කොමිෂන් සභාව මෙම තීරණයට එළඹියේ විධිමත් යෝජනාවක් නිශ්චිත කාලයට පෙර ඉදිරිපත් නොකිරීම, මුල් යෝජනාවේ දෝෂ සහගත බව සහ මෙම කාර්තුව සදහා ඉදිරියේදී නව යෝජනාවක් ලංවිම විසින් ඉදිරිපත්කරනු ලැබුවද කාර්තුවේ ඉතිරි කෙටි කාලයක් සඳහා සංශෝධනයක් ක්‍රියාවට නැගීමෙන් ඉහළ ප්‍රතිශතයකින් ගාස්තු වෙනස්වීමේ අවාසි ආදි කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.
2026 ජනවාරි සිට මාර්තු දක්වා සඳහා වු ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය වර්ෂයේ නොවැම්බර් 14 වැනි දින වන විට ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව විසින් එම වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ලිපියක් මගින් ලංවිමට දන්වා තිබිණ. එහෙත් 2026 පළමු කාර්තුව සදහා ලංවිම සිය යෝජනාව ඉදිරිපත් කර තිබුණේ 2025 දෙසැම්බර් 29වැනි දිනය. එම යෝජනාවේ පැවති දෝෂ හේතුවෙන් නිසි යෝජනාවක් 2026 ජනවාරි 8 වැනි දිනට පෙර ඉදිරිපත්කරන ලෙස කොමිෂන් සභාව 2026 ජනවාරි 5 වැනි දින ලංවිමට දන්වා සිටියේය.
නිවැරැදි කරන ලද යෝජනාව ඉදිරිපත් කිරීමට තවදුරටත් ප්‍රමාද වන බව ලංවිම විසින් 2026 ජනවාරි 8 වැනි දින කොමිෂන් සභාවට දන්වන ලදී. මේ දක්වා සංශෝධිත යෝජනාවක් කොමිෂන් සභාව වෙත ලැබී නොමැති අතර එම යෝජනාව ලැබීමෙන් අනතුරුව සමාලෝචනය හා මහජන උපදේශනවලින් පසුව ක්‍රියාවට නගනු හැකි වනුයේ 2026 පළමු කාර්තුවේ අවසන් කාල පරිච්ඡේදය සඳහාය. කාර්තුවේ කෙටි කාලයක් සඳහා ආදායම් හා වියදම් වෙනස්කම් ගැලපීමෙන් සාපේක්ෂව ඉහළ ප්‍රතිශතයකින් විදුලි ගාස්තු වෙනස් විය හැකි බව නිරීක්ෂණය වී තිබේ. එය ජාතික ආර්ථිකයට වඩා අහිතකර ලෙස බලපෑ හැකිය.
වලංගු ගාස්තු සංශෝධනයක් නිසි කලට ඉදිරිපත් නොකිරීම හා කාර්තුවේ කෙටි කාලයක් සඳහා ගාස්තු සංශෝධනයක් ක්‍රියාවට නැගීමෙන් ආර්ථිකයට ඇති විය අහිතකර බලපෑම් සලකා බැලීමෙන් අනතුරුව පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් තීරණය කරන ලදී. එමෙන්ම 2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධන යෝජනාව 2026 පෙබරවාරි මස 13 වැනි දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසද කොමිෂන් සභාව විසින් ලංවිමට දන්වා තිබේ.
