දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක රස පරීක්ෂකවරයෙක් වන එච්.එල්. ඩබ්ලිව් ජයමාන්න සහ පුද්ගලික රක්ෂණ සමාගමක උප සභාපතිවරයෙකු ඇපමත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
එම නඩුකරය කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ අල්ලස් කොමිෂම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත් සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියම කර ඇත.
ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත් විසින් සැකකරුවන්ට අවවාද කළේය.
රක්ෂණ සමාගමේ රක්ෂණය කර තිබෙන වාහන අනතුරුවලට ලක් වූ විට එම සමාගමට වාසිදායක ලෙස රස පරීක්ෂක වාර්තා ලබාදීම සඳහා අල්ලස් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම යන සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට රජයේ හිටපු අතිරේක රස පරීක්ෂකවරයා සහ අදාළ රක්ෂණ සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
