අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රොනල්ඩ් රේගන්ගේ කතාවක් විකෘති කරමින් කැනඩාව විසින් නිර්මාණය කරන ලද තීරුබදු දැන්වීමෙන් පසු කැනඩාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා තීරුබදු වැඩි කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
ඒ අනුව ඔවුන් දැනට ගෙවන තීරුබදුවලට අමතරව කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තවත් 10%ක තීරුබද්දත් පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.
සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ කැනඩාව විසින් රොනල්ඩ් රේගන්ගේ තීරුබදු පිළිබඳ කතාව සම්බන්ධව වංචනික දැන්වීමක් පළ කර ඇති බවය.
එමෙන්ම මේ සම්බන්දව රොනල්ඩ් රේගන් ජනාධිපති පදනම සහ ආයතනය විසින් එහි නීතිමය විකල්ප සමාලෝචනය කරමින් සිටින බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් සඳහන් කර තිබේ.
මේ අතර හිටපු අමෙරිකානු ජනාධිපතිවරයෙකු වූ රොනල්ඩ් රේගන්ගේ කතාවක් විකෘති කරමින් කැනඩාව විසින් නිර්මාණය කරන ලද මෙම වෙළෙඳ දැන්වීම මේ වන විට දෙරට අතර මහත් මතභේදාත්මක තත්ත්වයක් දක්වා පැමිණ තිබේ.
මේ සම්බන්ධව අවධානය යොමු කරමින් පසුගියදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රොනල්ඩ් රේගන් 1987 වසරේදී සිදුකළ කතාවක් විකෘති කරමින් අමෙරිකානු බදු පිළිබඳව සෘණාත්මක මතයක් කැනඩාව විසින් ගොඩනගමින් පවතින බවද චෝදනා කළේය.
එමෙන්ම එය අමෙරිකානු අධිකරණ තීන්දුවලට බලපෑම් කිරීමේ අරමුණින් සිදුකළ ඉතා නරක ක්‍රියාවක් බව ට්‍රම්ප්ගේ මතය වී තිබුණි.
