නේපාලය පුරා පවතින විරෝධතා මධ්‍යයේ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි අද (09) ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. නේපාල පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ද ගිනි තබා ඇත
භක්තපූර්, බෝල්කොට් හි ඇති ඔහුගේ පෞද්ගලික නිවස විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බව සඳහන් වේ.
මේ අතර නේපාලයේ රැඳී සිටින ශ්‍රී ලාංකයින් සම්බන්ධයෙන් එරට තානාපති කාර්යාලය අඛණ්ඩව තොරතුරු සොයාබලමින් සිටින බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
නේපාලයේ කත්මන්ඩු අගනුවර පැවැත්වෙන විරෝධතා හේතුවෙන් එරට සිටින කිසිදු ශ්‍රී ලංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බව සඳහන්ය.
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් බහුතරයක් ශිෂ්‍ය වීසා මත සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
නේපාලයේ කත්මන්ඩු අගනුවර පැවැත්වෙන විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ පනවා ඇති ඇඳිරිනීතියද නොතකා සිදුකරන විරෝධතා අතරතුර අගමැති ඕලිගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස පක්ෂයේ කාර්යාලය, මෙන්ම තවත් දේශපාලනඥයින් පිරිසකගේ නිවාස ගිනි තබා ඇති බවය.
ඒ අනුව එරට ගුවන්තොටුපොළද තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙයි.
නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ වූයේ සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට එරෙහිවය.
සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව වීථි බැස විරෝධතාවේ නිරතවූ බහුතරය අලුත් පරම්පරාවට අයත් නව යොවුන් තරුණ තරුණියන් බව සඳහන්ය.

