විදේශීය මත්පැන් බෝතල් තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගය මත විනාශ කිරීමට ගෙන ගිය අවස්ථාවේ ඒවා තේ කහට සහ පල් වතුර බවට පත්ව තිබීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට අද ( 01) නියෝග කළාය.
මෙම විදේශ මත් පැන් බෝතල් තොගය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒවා අධිකරණ නියෝගයක් මත විනාශ කරන අවස්ථාවේ තේ කහට සහ පල් වතුර බවට පත්කළේ කවුරුන්ද යන්නන පිළිබඳව හඳුනා ගැනීම සඳහා මෙලෙස රස පරීක්ෂක වාර්තාව ලබාගත යුතු බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 81ක් සහ බියර් බෝතල් 150ක් මෙසේ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියෝග කළේ.
මෙම මත්පැන් තොගය විනාශ කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පසුගිය පෙබරවාරි 17 දින නියෝග කළ අතර පසුව ඒවා විනාශ කිරීමේදී බෝතල් තුළ ඇත්තේ සැබෑ මත්පැන් නොවන බවට මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ,බෝතල් වලට යළි සීල් තබා අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කරන ලෙසට නියෝග කරනු ලැබීය.
ඒ අනුව මෙම මත්පැන් තොගය මෙලෙස පල් වතුර සහ තේ වතුර බවට පත් කළේ කවුරුන්ද යන්න පිළිබඳව සොයා බැලීමට අධිකරණ නියෝගය මත රජයේ රස පරීක්ෂක වෙත යොමු කෙරිණි.
