ඉදිරි වසර 3-4ක කාලය තුළ මෙරට කිසිදු මැතිවරණයක් පවත්වන්නේ නැතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේය. කුරුණෑගලදී පැවති සාකච්ඡාවකදී හෙතෙම ඒ බව කීවේය.
රටේ ලියාපදිංචි ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කරමින්, ඡන්දය භාවිත නොකරන අයට දඩයක් නියම කිරීමට සැලසුම් කර ඇති බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ 2026 – 2029 කාලය සඳහා වන උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ශ්ව කණ්ඩායම් සමඟ පැවති සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාව කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී පැවැත්විණි.
මෙම තීරණය ගැනීමට හේතුව ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ, මෙරට සෑම මැතිවරණයකටම විශාල මුදලක් වැයවීම සැලකිල්ලට ගෙන, මැතිවරණයක උපරිම ප්‍රතිඵලයක් ලබාගැනීම අරමුණු කර ගැනීමයි.
එමෙන්ම, ඉදිරියේදී මැතිවරණ සඳහා තැන්පත් කරන ඇප මුදල්ද ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.
