තමන් හමුදාවේ සක්‍රීය සේවයේ සිටියදී රෝහණ විජේවීර ඝාතනය කිරීමට සම්බන්ධවූ බවට චෝදනා කරමින් ඉන්ද්‍රානන්ද ද සිල්වා සිදුකරන ප්‍රකාශවලට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය විසින් ගොනුකර තිබූ නඩුවේ තීන්දුව ලබාදෙමින් අධිකරණය විසින් නඩුව නිෂ්ප්‍රභා කර වාරණ ඉල්ලුම්පත ප්‍රතික්ෂේප කර තිබේ.
අශෝක තෝරදෙනිය රෝහණ විජේවීර ඝාතනයට සම්බන්ධ බවට එවකට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම පුවත්පත වූ “නියමුවා ” හිද විශේෂ අනාවරණයක් සිදුකර තිබූ අතර ඒද ඉන්ද්‍රානන්ද සිල්වා ගේ ප්‍රකාශය උපුටා දක්වමිනි.
කෙසේවෙතත් ජවිපෙ ඛණ්ඩනය සමඟ ඉන්ද්‍රානන්ද සිල්වා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමඟ එක්වූ අතර පසුගිය මැතිවරණ සමයේ අශෝක තෝරදෙනිය සම්බන්ධව චෝදනාව යළිත් කරළියට පැමිණියේ ඔහු ජාතික ජනබලවේගය පක්ෂයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ රැස්වීමකට සහභාගී වීම ප්‍රශ්න කිරීමත් සමඟය.
එසේම අශෝක තෝරදෙනිය විදෙස් සංචාරයකදී සුනිල් හඳුන්නෙත්ති සමඟ ගනුලැබූ බව සඳහන් ජායාරූපයක් ද සමාජ මාධ්‍යවල සංසරණය වූ අතර එහිදීද ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජනබලවේගය පක්ෂය වෙත විවේචන එල්ලවිය. ඒ සිය පක්ෂයේ නිර්මාතෘ, ආරම්භක නායකයාව වෙඩි වැදී පණ අදිමින් සිටියදී බොරැල්ල කනත්තේ චිතකයට විසිකර දැමූ බවට චෝදනා ඇති උදවිය පවා ඔවුන් බලය ගැනීම වෙනුවෙන් එක්කරගෙන ඇති බව පවසමිනි.
ඒ සම්බන්ධව 2024 ජනාධිපතිවරණ වේදිකාවේ ද ඉන්ද්‍රානන්ද සිල්වා විසින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානයක ට අභියෝග කරමින් දැඩි විවේචනයක් එල්ල කළේය.
අශොක තෝරදෙනිය තමන්ට එල්ල කෙරෙණ විවේචන සම්බන්ධවූ වාරණ නියෝගයක් ඉල්ලා අධිකරණයට ගියේ ඉන් අනතුරුව ය.
කෙසේවෙතත් එම වාරණ නියෝගය ප්‍රතික්ෂේප කර අදාළ අධිකරණ තීන්දුව නිකුත්වීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද සිල්වා පවසා සිටියේ රෝහණ විජේවීර ඝාතනයට සම්බන්ධ සියලු මිනීමරුවන්ට නිත්‍යනුකූලව ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා අභියෝග කරන බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
”රෝහණ විජේවීර ඝාතනය පිළිබඳව රූපවාහිනියට සමාජ මාධ්‍යයට පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කිරීම තහනම් කරමින් මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය විසින් මා හට පවරා තිබූ නඩුව අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මා හට විරුද්ධව පැවැති සියලු චෝදනාවලින් මා නිදහස් කරනු ලැබුවා. මෙම නඩුව දමා තිබුණේ ඔන්ලයින් සේෆ්ටි පනතෙන්. අවුරුදු තිහකට පමණ කාලයක සිට මෙම කරුණු අපි රට ඉදිරියේ එළිදරව් කරලා තියෙන බවත් මේක අලුතෙන් කියන කාරණයක් නොවන බවත් සදහන් කරමින් නඩුවේ දී අපේ ලිඛිතව කරුණු පෙන්වා දුන්නා. ඒ වගේම 1996 නොවැම්බර් මාසයේ දී මම හිර ගෙදර ඉඳන් නීතිපතිට යවපු දියරුම් පෙස්සමක් හරහා මෙම කරුණු සවිස්තරාත්මකව එළි දක්වලා තියෙන බවත්, තවදුරටත් අපි ලිඛිතව කරුණු පෙන්වා දුන්නා. මුළු රට පුරා තිබිච්ච වධකාගාරවලට මම ජායරූප ශිල්පියෙක් ලෙස රාජකාරී වශයෙන් ගිහිල්ලා මරා දාපු අයගේ ඡායාරූප ගත්තු ඒවා, මගේ ඇස් ඉදිරියේ මම ඒ වගේ අය මරා දානවා ඒවා දැකපු ඒවා සියල්ල හෙළිදරව් කරලා තියෙන බව. දැන් නඩුවේ මා නිදහස් කරලා තියෙන මොහොතේ මම ආණ්ඩුවට අභියෝග කරනවා දැන්වත් රෝහණ විජේවීර ඝාතනයට සම්බන්ධ සියලු මිනීමරුවන්ට නිත්‍යනුකූලව ක්‍රියාමාර්ග ගන්න කියලා. විශේෂයෙන් දැන් බලයේ ඉන්නේ ඔහු නායකත්වය දීපු පක්ෂයේ වර්තමාන නායකයා. එතකොට වගකීමක් තියෙනවා තවදුරටත් කරාරින්නෙ නැතුව තමන්ගේ නායකයා අමු අමුවේ පණපිටින් මරලා දාපු මිනීමරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.”
-නිව්ස්හබ්
