පළාත් පාලන ආයතනවල සභාපති ධුර සඳහා පළපුරුද්දක් නොමැති නියෝජිතයන් පත් කළොත් පාර්ලිමේන්තුව තුළ සිදු වූ දෙයම පළාත් පාලන ආයතනවලත් සිදු වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඒ මහතා මේ අදහස් පළ කළේ මාපලගම ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.
“පළාත් පාලන ආයතනවල ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියලා දෙකක් නෑ. පළාත් පාලන ආයතන සඳහා මහජන නියෝජිතයන් පත් කළාට පසු බහුතරයේ කැමැත්ත අනුව ක්‍රියා කළ යුතුව තිබෙනවා. පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන් බොහොමයක් ඉන්නවා. මේ තනතුරුවලට පත් කළ යුතු වන්නේ පළපුරුද්ද තිබෙන අය. නැතිනම් වෙන්නේ පාර්ලිමේන්තුවට වූ දෙයමයි. පළපුරුද්දක් නොමැති කණ්ඩායමක් පාලනය භාර ගත්තාම ආර්ථිකය ගෙන යන්න බෑ කියලා දේශපාලන න්‍යායක් තිබෙනවා.
ඒ නිසා පළාත් පාලන ආයතනවලට පළපුරුදු කෙනෙක් සභාපති ධුරයේ කටයුතු කරන ගමන් උපසභාපති ධුරයට නවක කෙනෙක් පත් කර ගත යුතුයි. එසේ වුවහොත් බාධාවකින් තොරව එම සභාවල කටයුතු කරගෙන යා හැකි බව අපේ විශ්වාසයයි.
මම පළාත් පාලන ඇමැතිවරයාව සිටියදී ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ලක්ම තිබුණේ පොහොට්ටුව සතුව. නමුත් මම පොහොට්ටුවේ සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් සියල්ලටම එන්න කියලා අමාත්‍යාංශයෙන් ඒ ඒ පළාත් පාලන සඳහා වෙන් කර තිබූ මුදල් ජනතාවගේ සුබසිද්ධියට යොදවන්න කියලා උපදෙස් දුන්නා. එහෙම නැතිව ආණ්ඩුව තමන්ගේ බලය අනුව ක්‍රියා කිරීම නෙමෙයි සිදු විය යුත්තේ. ආණ්ඩු පක්ෂයේ නොවන අයකු පළාත් පාලන ආයතනයේ සභාපති ලෙස පත් වුණොත් එම පළාත් පාලන ආයතනයට මධ්‍යම ආණ්ඩුවෙන් මුදල් අනුමත නොකරන බවට ආණ්ඩුවට කියන්න බෑ. පළාත් පාලන ආයතන සඳහා මුදල් වෙන් කිරීමේදී ඒවාට වෙනම ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ආකාරයට ඒ ආයතන ක්‍රියාත්මක විය යුතුයි.”
ශිරෝමි අබයසිංහ
