දේශීය

ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බව අධිකරණයට දන්වයි

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම සංශෝධනය කිරීමට හෝ ඒ වෙනුවෙන් නව පෙත්සමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහුගේ නීතිඥවරයා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

 

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සඳහන් කළේ, තම සේවාදායකයා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවය.

 

ඒ අනුව මෙම කරුණට අදාළව පවතින පෙත්සම සංශෝධනය කිරීමට හෝ නව පෙත්සමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

 

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා ගෙන් වැඩිදුර උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බව සඳහන් කළේය.

 

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන වසරේ මාර්තු මස 14 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

 

ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබීය.

Related posts

අද සිට විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක්

Mohamed Dilsad

දුම්රිය 2 ක් ධාවනයෙන් ඉවතට

Mohamed Dilsad

වෝහාරික විගණන වාර්තාවේ විවාදයට දින නියම කෙරේ

Mohamed Dilsad

Leave a Comment