ක්‍රීඩා

වසරේ ඔලිම්පික් කාන්තාව තිලකා

(UTV | කොළඹ) – වසරේ (2021) අන්තර් ජාතික ඔලිම්පික් කාන්තාව ලෙස දැල්පන්දු හා මලල ක්‍රීඩා යන ක්‍රීඩා ඉසව් දෙකක ප්‍රවීණතම පුහුණුකාරිනියක් ලෙස කටයුතු කරන තිලකා ජිනදාස මෙනවිය නිර්දේශ කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබේ.  

අයදුම්කරුවන් හා අයදුම්කාරියන් 12 දෙනකු අතරින් ඇයගේ නාමයෝජනාව මේ වනවිට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව වෙත යොමු කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු කර ඇත.

හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාරිනිය ද වන ජිනදාස මෙනවිය දැල්පන්දු ක්‍රීඩාවට යොමු වීමට පෙර ශ්‍රී ලංකාවේ මීටර 100 කඩුලු පැන දිවීමේ ජාතික ශූරිය ලෙස ප්‍රසිද්ධව සිටියාය.

එහිදී 1988 සෝල් නුවරදී පැවැති ඔලිම්පික් උළෙල නියෝජනය කළ ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් උළෙලක් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ද වේ.

පසු කාලීනව දැල්පන්දු පුහුණුකාරිනියක් ලෙස අවධානය දිනාගත් ඇය 1997 දී පැවැති ආසියානු දැල්පන්දු ශූරතාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම් උපනායිකාව ලෙස කටයුතු කළාය. වසර 2009 දී හා 2018 දී පැවැති ආසියානු දැල්පන්දු ශූරතාවලි දෙකත් ශ්‍රී ලංකාවට දිනා දුන් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකාරිනිය ලෙසත් ඇය කටයුතු කළාය.

තිලකා ජිනදාස මෙනවිය ජාත්‍යන්තර මලල ක්‍රීඩා අදියර 1 යටතේ මලල ක්‍රීඩා පුහුණුකාරිනියක් වන අතර ඕස්ට්‍රේලියාවේදී එරට අදියර 1 දැල්පන්දු පුහුණු පාඨමාලාව සමත් දැල්පන්දු පුහුණුකාරියක් ද වේ. පසු කාලීනව ඇය දැල්පන්දු ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කිරීමේදී බෲනායි රාජ්‍යයේ ජාතික දැල්පන්දු පුහුණුකාරිනිය ලෙසත් වසර ගණනාවක්ම කටයුතු කළාය.

Related posts

කෝප් කාරක සභාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවීමක්

Mohamed Dilsad

සංජු සැම්සන්ගේ IPL වාර්තා

Mohamed Dilsad

එක්දින වැඩිම ලකුණූ අතරින් කුසල් පෙරමුණට

Mohamed Dilsad

Leave a Comment