දේශීයප්‍රමුඛ පුවත 1

එළඹෙන සඳුදා සිට ලංගම බස් 5,000 ක් සහ දුම්රිය 400 ක් නැවත සේවයට

(UTV |කොළඹ ) – අප්‍රේල් මස 20 වනදායින් පසු ලංගම බස් රථ 5,000 ක් සහ දුම්රිය 400 ක් නැවතත් පොදු ප්‍රවාහන සේවා කටයුතු සඳහා යෙදවීමට පියවර ගෙන ඇතැයි ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

කොරෝනා වසංගතය හමුවේ මෙතෙක් අත්හිටුවා ඇති රාජ්‍ය අංශයේ වැඩකටයුතු අදියර කිහිපයක් යටතේ ලබන සඳුදායින් පසුව ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව එම පියවර ගන්නා බව අමාත්‍යවරයා කියාසිටියේය.

සියලූ පොදු ප්‍රවාහණ කටයුතු ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති මාර්ගෝපදේශණ යටතේ ක්‍රියාත්මක කිරීමට වගබලා ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් දී තිබේ.

රජය විසින් සේවා ස්ථාන සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලවල පහසුව සැලසීමට මෙලෙස පොදු ප්‍රවාහණ සේවා යළිත් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

අදාළ බස් රථ සහ දුම්රියන්හි සේවය සඳහා යෙදවීමට නියමිත කාර්ය මණ්ඩලවල ආරක්ෂාවට අවශ්‍ය මුඛ ආවරණ සියලූ දෙනාට සපයන ලෙසත්, විෂබීජානුහරණයට අවශ්‍ය විෂබීජ නාශක ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලට දුරබැහැර සිට එළවළු පලතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ප්‍රවාහණයේ දී පවතින දුර්වලතාවයන්ට විසඳුමක් වශයෙන් දුම්රිය යොදා ගැනීම සම්බන්ධයෙන්ද මහින්ද අමරවීර දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා තිබේ.

කිසියම් පාර්ශ්වයක් ඒ සඳහා ඉල්ලීමක් කරන්නේ නම් එම ද්‍රව්‍ය ප්‍රවාහණයට බලවේග දුම්රිය කට්ටල ලබා දිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කර ඇත.

සියලූ මගීන් මුඛ ආවරණ පැලඳ ගමන් කිරීම අනිවාර්ය කර ඇති අතර, මීටරයක දුර සිටින ආකාරයෙන් ගමන් කිරීම අනිවාර්ය කර තිබේ.

ඒ අනුව එක් දුම්රිය පෙට්ටියක මගීන් 50 කට සීමා කිරීමටද තීරණය කර ඇති අතර ගමන් වාර ආරම්භය හා අවසානයේ බස් රථ හා දුම්රිය ජීවානුහරණය කිරීමද අනිවාර්ය කර ඇත.

Related posts

ආසාදිතයින් 316කට සුවයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට හැර සෙසු ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පැය 8කට ඉවතට

Mohamed Dilsad

40,000කට වැඩි සංඛ්‍යාවක් නිරෝධායනය අවසන්

Mohamed Dilsad

Leave a Comment