Trending Newsඑසැන පුවත්දේශීය

ගල් අඟුරු නැව් 38ක් අවශ්‍යයි | ආවේ 03යි | ඒ තුනම බාලයි |

දැනට ක්‍රියාත්මක ගල් අඟුරු ටෙන්ඩරය හරහා මෙරටට ගෙන්වන ලද ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ බරපතළ ගැටලු මතු වී ඇති අතර, මේ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ රට දැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති. 

මෝසම් වැසි ආරම්භ වීමට ප්‍රථම, එනම් මාර්තු මැද භාගය වන විට අවශ්‍ය ගල් අඟුරු තොග මිලදී ගෙන අවසන් කළ යුතු වුවද, පවතින තත්ත්වය හමුවේ අප්‍රේල් මාසයට පෙර එම ඉළක්කය සපුරා ගැනීම අසීරු වී ඇත. 

මීට ප්‍රධානතම හේතුව ලෙස දක්වන්නේ අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා මුහුද රළු වීම නිසා ගල් අඟුරු ගොඩබෑමට නොහැකි වීමයි.

විදුලි උත්පාදනය සඳහා භාවිත කළ බාල ගල් අඟුරු හේතුවෙන් මෙගාවොට් 300ක් අපේක්ෂා කළ ජනන යන්ත්‍රයකින් ලබාගත හැකි වී ඇත්තේ මෙගාවොට් 240ක ධාරිතාවක් පමණි.

නොරොච්චෝලේ බලාගාර පරීක්ෂණාගාරය මගින් තෙවැනි ගල් අඟුරු තොගය ද ප්‍රමිතියෙන් තොර බව තහවුරු කර ඇත. ගිවිසුම්ගත ප්‍රමිතිය වූ 5900~kcal/kg වෙනුවට ලැබී ඇත්තේ 5600-5800~kcal/kg අතර අගයක් ගන්නා බාල ගල් අඟුරු බව වාර්තාවල සඳහන් වේ.

වසරකට අවශ්‍ය නැව් 38ක ප්‍රමාණයෙන් මේ වන විට ලැබී ඇත්තේ නැව් 3ක් පමණි. තවත් නැව් 3ක් ඉදිරි දිනවලදී දිවයිනට ළඟා වීමට නියමිතව ඇත.

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය හේතුවෙන් රුපියල් කෝටි 750ක පමණ පාඩුවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වේ. පළමු නැව සඳහා රජය විසින් දැනටමත් ඇමරිකානු ඩොලර් මිලියන 2ක දඩයක් පනවා ඇත.

විදුලි ඉංජිනේරුවන්ට අනුව, ගල් අඟුරුවල තාපජ ශක්තිය අඩු වීම නිසා අවශ්‍ය විදුලි ප්‍රමාණය උත්පාදනය කිරීමට වැඩි ගල් අඟුරු ප්‍රමාණයක් වැය කිරීමට සිදු වේ.

මෙම තත්ත්වය හමුවේ ලංකා කෝල් සමාගම සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කර නැව්ගත කිරීමට පෙර සාම්පල් පරීක්ෂා කිරීමටත්, හදිසි මිලදී ගැනීම් සිදු කිරීමටත් අවධානය යොමු කර තිබේ.

මෙරට විදුලි අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් සපයන නොරොච්චෝලේ බලාගාරයේ ජනන කටයුතු අඩාල වුවහොත් එය රටේ සමස්ත බලශක්ති පද්ධතියටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

Related posts

பாடசாலையில் நடந்த துப்பாக்கி சூட்டில் 17 பேர் பலி

Mohamed Dilsad

“Army Troops will ensure safety to all communities,” assures Army Commander in Kandy

Mohamed Dilsad

ஜனாதிபதி தலைமையில் எதிர்வரும் 19 ஆம் திகதி தேசிய இராணுவ வீரர்கள் தினம்

Mohamed Dilsad

Leave a Comment