පසුගිය වසරට සාපේක්ෂව මෙරට වන අලි මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පවතින බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
වනජීවි නියෝජ්‍ය අධ්යක්ෂ යූ.එල්. තවුෆික් මහතා සඳහන් කළේ, මෙම වසරේ දෙසැම්බර් මස 18 වන දින වන විට වන අලි මරණ 409ක් වාර්තා වී ඇති බවයි.
මෙය පසුගිය වසරේ වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව වන 388 ඉක්මවා යාමකි.
වන අලි මියයාමට බලපා ඇති ප්‍රධාන හේතූන් පිළිබඳව ද එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කෙරිණි.
ඒ අනුව වෙඩි වැදීමෙන් මරණ 71, විදුලි සැර වැදීමෙන් මරණ 56, හක්කපටස් භාවිතය නිසා මරණ 48, දුම්රිය අනතුරුවලින්: මරණ 20 හා මීට අමතරව තවත් විවිධ හේතු ගණනාවක් නිසා වන අලි ජීවිතක්ෂයට පත්ව ඇති බව නියෝජ්‍ය අධ්යක්ෂවරයා පෙන්වා දුන්නේය.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, පවතින ආපදා තත්ත්වය හමුවේ වන අලි ගම්වැදීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව අවධාරණය කළේය.
විශේෂයෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුවත් සමඟ ඇති වූ අධික වර්ෂාපතනය හා ජලගැලීම් හේතුවෙන් අලි පාලනය කිරීමට යොදා ගන්නා විදුලි වැට පද්ධතියට දැඩි හානි සිදුව ඇත. ඇතැම් ප්‍රදේශවල විදුලි වැටවල් තවමත් ජලයෙන් යටවී පැවතීමත්, අලින්ගේ ස්වභාවික තෘණ භූමි විනාශ වීමත් හේතුවෙන් වන සතුන් ආහාර සොයා ගම්මාන කරා පැමිණීම ඉහළ ගොස් තිබේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළ පරිදි, ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා විදුලි වැටවල් 148කට හානි සිදුව ඇති අතර එහි සම්පූර්ණ දිග කිලෝමීටර් 838කි. මෙම හානියට පත් වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 157කට ආසන්න පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයි ද ඇස්තමේන්තු කර ඇත.
