තහවුරු නොකළ සහ නොමඟ යවන සුළු පුවත් අඛණ්ඩව ප්‍රචාරය කිරීමට එරෙහිව, හිරු මාධ්‍ය ජාලයට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් (TRC) ඉල්ලීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ, අදාළ පුවත් වාර්තාකරණයන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ලිඛිතව දැනුවත් කර ඇති බවයි.
විකාශන බලපත්‍ර නිකුත් කිරීමේ නිසි බලධාරියා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව බැවින්, මෙම කරුණු සලකා බලා ඉදිරියේදී ගත යුතු උචිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම ලිපිය මගින් ඉල්ලා ඇත.
රජය සහ හිරු මාධ්‍ය ජාලය අතර මෑතකාලීනව මතුව ඇති මතභේදාත්මක තත්ත්වයන් හමුවේ මෙම පියවර ගෙන තිබේ.
මේ අතර හිරු මාධ්‍ය ජාලය විසින් පොලීසිය ට කඩිනම් ප්‍රතිචාර දක්වා තිබේ.
ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදුවූ ගංජා වැටලීම සහ පොලිස් නිලධාරියෙකුට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තම වාර්තා කිරීමට අදාළව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය, හිරු ප්‍රවෘත්ති අංශය ලිඛිතව සිය විරෝධය පළ කර ඇත.
ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට මෙමගින් බරපතළ බාධා එල්ල වන බව එම ලිපියෙන් පෙන්වා දෙයි..
හිරු ටීවී ප්‍රවෘත්ති නියෝජ්‍ය අධ්‍යක්ෂ තරංග ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව යොමු කළ මෙම පිළිතුරු ලිපියේ, ගංජා වැටලීමෙි සිද්ධිය ට අදාළව පොලිසිය විසින්ම පටිගත කරන ලද ඉතා වැදගත් සාක්ෂියක්, මාධ්‍ය මගින් අනාවරණය කරන තෙක්ම රටට හෙළි නොකිරීම පිළිබඳව ප්‍රශ්න කර සිටියි.
එවැනි ප්‍රබල සාක්ෂියක් අධිකරණයට හෝ මහජනතාවට ඉදිරිපත් නොකර වසන් කිරීමට පොලිසිය ගත් තීරණය පිටුපස ඇති පදනම අපැහැදිලි බව එම ලිපියේ සඳහන් වේ.
සූරියකන්ද පොලිසියේ කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි මහතාට එල්ල වූ ප්‍රහාරය සහ ගංජා වැටලීම අතර ඍජු සබඳතාවක් පවතින බවට වින්දිත නිලධාරියා කළ ප්‍රකාශ මගින් තහවුරු වන බව හිරු ටීවී පවසයි. පොලිස් විමර්ශනවලදී එවැනි සම්බන්ධයක් හෙළි වී නැතැයි යන පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ස්ථාවරය හිරු නාලිකාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
මෙම සිදුවීම් දෙක අතර පවතින සබඳතාව ඔප්පු කිරීමට අවශ්‍ය තරම් මූලාශ්‍ර සහ සාක්ෂි තමන් සතුව පවතින බව අවධාරණය කරන හිරු ටීවී ආයතනය, තමන් මෙම තොරතුරු රටට අනාවරණය කළේ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමේ අරමුණින් බව වැඩිදුරටත් සඳහන් කර සිටියි.
