රාජපක්ෂලා විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා ප්‍රදේශය රුපියල් 10,000 කට 99 අවුරුදු බද්දකට ලබා දුන් බවට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක කළ ප්‍රකාශය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුමෙහි පළ කළ සටහනක දැක්වුණේ, එම සේවා ප්‍රදේශය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට බදු දී ඇති බවයි.
එම ආයතන දෙකම රජයට අයත් ආයතන වන අතර, මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගෙන් ඔහු යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පිළිබඳ විමසා මෙම කරුණු තහවුරු කරගන්නා ලෙසත් නාමල් රාජපක්ෂ සඳහන් කර තිබෙනවා.
විවේක ගැනීම සදහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ, වැලිපැන්න ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති සේවා ප්‍රදේශය රාජපක්ෂවරු විසින් අනූ නව අවුරුදු බද්දකට ලබා දී ඇත්තේ රුපියල් 10,000 ක් වැනි සුලු මුදලකට බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ මිල්ලණිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ පැල්පොළ අන්තර් හුවමාරුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
