Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මෛත්‍රීපාල ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා එළැඹෙන පෙබරවාරි 06 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (28) නියම කළේය.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ල බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි. පෙත්සම ධම්මික ගනේපොල සහ දමිත් තොටවත්ත යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මීට පෙර මෙම නඩුව විභාග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් කිහිප දෙනෙකු උසස් වීම් ලබා තිබීම හේතුවෙන් මෙම පෙත්සම නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා බවත් මෙහිදී විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කළේය.

ඒ අනුව, අදාළ පෙත්සම විභාගය සඳහා පෙබරවාරි මස 6 වන දා නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන බවත් විනිසුරු මඩුල්ල නියෝග කළේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොණු කර තිබූ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සිරිල් ගාමිණී පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයකු බවට පත් වූ පුද්ගලයෙකු නම් කර තිබේ.

පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ, තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෞද්ගලික පැමිණිල්ලකට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ සිතාසිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.

ඒ අනුව, තමන්ට සිතාසි නිකුත් කර තිබෙන ආකාරය නීති විරෝධී යැයි තීන්දු කර එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

Related posts

පස්වරුවේ ප්‍රදේශ රැසකට තද වැසි

Mohamed Dilsad

‘නිසි ක්‍රමවේදයක් සකසා ගැනීමට අරගලකරුවන්ට නොහැකි වූනා’

Mohamed Dilsad

Special Parliamentary Select Committee to meet tomorrow

Mohamed Dilsad

Leave a Comment