දේශීය

හොර ආදායම් බලපත්‍ර හැදූ පුද්ගලයෙක් කොටුවෙයි

රුපියල් 5,000ක මුදලකට වාහන ආදායම් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කළ බව කියන තැරව්කාර පුද්ගලයකු මෙම මස 12 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4) නියෝග කළේය.

 

මහල් නිවාස, ස්ටේට් පාර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණි.

 

ත්‍රිරෝද රථයකින් මාළිගාවත්ත ප්‍රදේශයට දිනපතාම පැමිණ ඇති මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ වාහනවලින් යන එන පුද්ගලයන් පිළිබඳව විමසිලිමත් වෙමින් ඔවුන්ට රුපියල් 5,000 ක මුදලකට ව්‍යාජ ආදායම් බලපත්‍ර සකස් කරදී ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

 

සැකකාර පුද්ගලයා වාහන සඳහා ව්‍යාජ ආදායම් බලපත්‍ර සකස් කරන බවට රත්මලාන ගුවන් හමුදා කඳවරේ බුද්ධි අංශ නිලධාරියෙකුට දැනගැනීමට ලැබී ඇති බවත් ඒ අනුව ඔහු උපාය දූතයකු වශයෙන් මෙම සැකකාර පුද්ගලයා වෙත ගොස් රුපියල් 5,000 ක් ලබාදී ආදායම් බලපත්‍රයක් සකස් කර ගැනීමට කතිකා කරගෙන ඇති බවද අධිකරණයේදි හෙළිවිය.

 

පසුව අදාළ බුද්ධි අංශ නිලධාරියා මේ පිළිබඳව මාළිගාවත්ත පොලීසිය වෙත කළ දැනුම්දීමක ප්‍රතිඵලයක් වශයෙන් පොලීසිය සිදුකළ රහසිගත මෙහෙයුමකින් පසුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔහු සතුව තිබූ ව්‍යාජ වාහන ආදායම් බලපත්‍ර තුනක් සොයා ගත් බව පැමිණිල්ල මෙහෙයවූ මාළිගාවත්ත පොලීසිය අධිකරණයට දැන්වීය.

 

මෙම සිද්ධියේ මහමොළකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා මෙම සිද්ධියේ ඉදිරි කටයුතු පොලිස් වංචා විමර්ශන අංශයට භාරදීමට නියෝගයක් ලබාදෙන ලෙස පොලීසිය කළ ඉල්ලීමකට අධිකරණයෙන් අවසර හිමිවිය.

Related posts

දළදා මාලිගාවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුව පොලිම් යුගයක් නිර්මාණය කරමින් ඉන්නවා – සජිත් ප්‍රේමදාස

Editor O

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ට අවුරුදු 03ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්

Editor O

Leave a Comment