දේශීය

පොලිස්පති ගත් තීරණය

තමා අද (25) සිට සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බවට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

 

ඒ, සිව්වන වරටත් ඔහුට ලබාදුන් සේවා දිගුව අවසන්වීම සැලකිල්ලට ගනිමිනි.

 

සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස 25 වනදාය.

 

කෙසේවෙතත් ජනාධිපතිවරයා ඔහුට මාස 3ක සේවා දිගුවක් ලබාදුන් අතර එම කාලය අවසන්වීමෙන් පසු ජූලි මස 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදී තවත් මාස 3ක සේවා දිගුවක් ඔහුට හිමිවිය.

 

තෙවන වරට තවත් සති 3ක සේවා දිගුවක් පසුගිය ඔක්තෝබර් 13වනදා සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් අතර සිව්වන වරට ලබාදුන් සේවා දිගුව නොවැම්බර් මස 3 වනදා සිට ඊයේ (24) දිනය දක්වා ක්‍රියාත්මක විය.

 

කෙසේවෙතත් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මෙලෙස සේවා දිගු හිමිව තිබුණේ ඔහුගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබු පසුබිමකය.

 

ඒ අනුව සිව්වන සේවා දිගුව ඊයේ දිනයෙන් අවසන් වීමත් සමඟ පොලිස්පති ධුරය යළි පුරප්පාඩුවී තිබේ.

 

එවැනි පසුබිමක සිය ධුරයෙන් අද දින සිට විශ්‍රාම ගන්නා බවට පොලිස්පතිවරයා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

 

මේ අනුව පුරප්පාඩුවූ පොලිස්පති ධුරය සඳහා ඉදිරි දින කිහිපය තුළදී නව පොලිස්පතිවරයෙක් පත් කිරීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

 

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ,

 

“පොලිස්පතිතුමාගේ සේවා දිගුව මේ වනවිට අවසන් වෙලා තිබෙනවා. නව පත්කිරීමක් හෝ සේවා දිගුවක් ගැන මෙතෙක් දැනුම්දීමක් ලැබිලා නැහැ.”

Related posts

දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි.

Editor O

අගමැති සහ සිපෙට්කෝ බෙදුම්කරුවන් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment