දේශීය

මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන්නන් සොයා රට පුරා මෙහෙයුම්

මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියදුරන් වැටලීම එළඹෙන අගෝස්තු 01 වනදා සිට රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

බස්නාහිර පළාත තුළ සිදුකළ නියමු ව්‍යාපෘතියේදී මත්ද්‍රව්‍ය ගෙන රියපැදවූ 41 දෙනෙකු හඳුනාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්වූ අතර ඉන් 19 දෙනෙකුම බස් රථ රියදුරන් ය.

 

පොලීසිය පවසන්නේ දිනෙන් දින ඉහළ යන රිය අනතුරුවලට ප්‍රධානතම හේතුවක් වන්නේ ද මත්වූ රියදුරන් බවය.

 

රට පුරා සිදුවන රිය අනතුරුවල ඉහළ යාමක් ඇති බව පොලිස් වාර්තාවලින් හෙළිවී තිබේ.

 

2020 වසරේ සිදුවූ රිය අනතුරු 23,704 න් 2,370 දෙනෙකු මියගොස් තිබේ.

 

2021 වසරේ රිය අනතුරු 22,847ක් සිදුවී ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 2,559කි.

 

2022 දී සිදුවූ රිය අනතුරු 21,992 කින් 2,536 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්ය.

 

මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (18) දක්වා ගෙවුණු කාලසීමාවේදී පමණක් සිදුවී ඇති රිය අනතුරු සංඛ්‍යාව 8,875කි.

 

ඉන් 1,043 දෙනෙකු මියගොස් තිබේ.

 

මෙලෙස රිය අනතුරු ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස පොලීසිය හඳුනාගෙන ඇත්තේ ඇතැමුන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමය.

 

මත්පැන් භාවිතා කළ පිරිස් සොයාගැනීමට ක්‍රමවේද පැවතියත් මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන්නන් සොයාගැනීමට මීට පෙර ක්‍රමයක් පැවතියේ නැත.

 

ඒ අනුව රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයාබැලීමට රජය මේ වනවිට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

 

මත්වූ රියදුරන් හඳුනාගැනීම සඳහා ඛේටය පරීක්ෂා කෙරෙන පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ඇත්තේ ඒ අනුවය.

 

මෙම උපකරණ භාවිත කරමින් බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැටලීම් ඉකුත් ජුනි 12 වනදා සිට ක්‍රියාත්මක කෙරුණි.

 

ඒ, රියදුරන් 1,781 දෙනෙක් පරීක්ෂා කරමින්.

 

ඉන් රියදුරන් 41 දෙනෙක් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවා ඇතැයි හඳුනාගැනුණු අතර ඉන් 19 දෙනෙකුම බස් රථ රියදුරන් ය.

 

ත්‍රීරෝද රථ රියදුරන් 9 දෙනෙක් සහ යතුරුපැදිකරුවන් 13 දෙනෙක්ද මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන අතරතුර පොලීසියට හසුවී තිබුණි.

 

මෙහිදී වරදකරුවන් වූ රියදුරන් 07 දෙනෙකු ශරීර ඇප මත මුදාහැර ඇති අතර තවත් රියදුරන් 15 දෙනෙකුට දඩ පනවා රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබේ.

 

එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවා වරදකරුවන් වූ තවත් රියදුරන් දෙදෙනක්ට බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසීය.

Related posts

පක්ෂ ලියාපදිංචියට නව අයඳුම්පත් 143 කට අධික සංඛ්‍යාවක්

Mohamed Dilsad

ජනපති සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමු වෙයි

Mohamed Dilsad

ඩීසල් අර්බුදය : බස් රථ ධාවනයට බලපෑම්, දුම්රියට ප්‍රශ්නයක් නැහැ

Mohamed Dilsad

Leave a Comment