දේශීය

රජයේ සියලු පාසල් ආරම්භ කිරීම සම්බන්ධ විශේෂ චක්‍රලේඛයක් – පළමු වාරය අප්‍රේල් 09 අවසන්

(UTV | කොළඹ) – 2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි 2021/03/29වන දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් පලාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කොටඨාස භාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන් ආමන්ත්‍රණය කරමින් නිකුත් කර ඇත.

ඒ අනුව මෙතෙක් ආරම්භ නොකළ ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ සියලු ම පාසල් 2021/03/ 29 වන දින ආරම්භ කෙරෙන අතර යම් ප්‍රදේශයක් හුදෙකලා කළ හොත් අදාළ කාල සීමාව ඉකුත් වන තෙක් එම ප්‍රදේශයේ පාසල් පමණක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතු බව සඳහන්කොට තිබේ.

සෞඛ්‍යාරක්ෂිත ස්ථානයක් ලෙස, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පාසල් සූදානම් කිරීම හෙට දින එනම් 2021/03/26 දින සිට 2021/03/28 දක්වා දින 03 වෙන්කොට තිබේ.

නැවත පාසල් පරිසරයට දරුවන් අනුගත කර ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ඔප්නැංවීමට සුදුසු ක්‍රියාකාරකම් කිරීමට මූලිකත්වය ලබා දෙමින් පාසල ආරම්භ කළ වහා ම විභාග කටයුතු සහ තරඟ සඳහා දරුවන් යොමු කිරීමට යෝග්‍ය නොවන බැව් වැඩිදුරටත් අවධාරණයකොට තිබේ.

එමෙන් ම පුද්ගල දූරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සටහනක් ද ඇතුළත්කොට තිබේ.

ඒ අනුව සිසුන් 15 දක්වා සිටින පන්ති සතියේ සෑම දිනක ම පැවැත්විය යුතු වේ.

සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතු වෙයි.

සිසුන් 30ට වැඩියෙන් සිටින පන්ති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පන්ති පැවැත්විය යුතු ය.

අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල පාසලට කැඳවීම සම්බන්ධයෙන් එම චක්‍රලේඛයට අනුව ශිෂ්‍ය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නැවත යථා පරිදි ආරම්භ වන බැවින් ඔවුන් සියලු දෙනා සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කල යුතු බැව් සඳහන් ය.

අදාළ මාර්ගෝපදේශයන් අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ (www.moe.gov.lk) පළකොට ඇති බව ද එම චක්‍රලේඛයෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව සමස්ත දිවයිනේ ම පළමු වාරය සඳහා පාසල් අධ්‍යයන කටයුතු අවසන් කෙරෙනුයේ 2021/04/09 වන දින වන අතර දෙවන වාරය සඳහා නැවත ආරම්භ කිරීම 2021/04/19වන දින සිදු කෙරේ.

 

Related posts

අවසන් මහා තරඟය ජයගත් ඉන්දියාව ආසියානු කුසලානය එපා කියයි

Editor O

තවත් 558ක් සුවය ලබයි

Mohamed Dilsad

රවීගේ පෙත්සම විභාගයට අවසර

Mohamed Dilsad

Leave a Comment