දේශීය

කළුතර කොරෝනා අවධානම ඉහළට

(UTV |කළුතර) –  කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගැනුණි.

මේ අනුව ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් පූර්ණ සහ අර්ධ වශයෙන් හුදකලා කිරීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.

මේ අතර කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කුරුඳුවත්ත, මහවත්ත, කුඩා හීනටියන්ගල, වෙට්ටුමකඩ, අක්කරගොඩ, කළුතර දකුණ 725 හා 725 බී යන ග්‍රාම නිලධාරී වසම් සම්පූර්ණයෙන් හුදකලා කිරීමට පියවර ගත් බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලංග ප්‍රේමසිරි මහතා පැවසීය.

එමෙන්ම කටුකුරුන්ද, වේලාපුර හා කලපුව යන ග්‍රාම නිලධාරී වසම් ද අර්ධ වශයෙන් හුදකලා කළ බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය.

මෙම ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ (19) කොවිඩ් ආසාදිතයින් 30 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර අද තවත් ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන තිබේ.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මග්ගොන නැගෙනහිර, මග්ගොන බටහිර සහ අක්කරමලෙයි යන ග්‍රාම නිලධාරී වසම් 03 සඳහා සංචරණ සීමා පනවා ඇත.

මේ දක්වා බේරුවල කොට්ඨාසයෙන් ආසාදිතයින් 361 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 107 දෙනෙකුම හඳුනාගෙන තිබෙන්නේ මග්ගොන ප්‍රදේශයෙනි.

මග්ගොන ප්‍රදේශයේ සිදුකරන ලද අහඹු පීසීආර් පරීක්ෂණ 183 ක් අතරින් ආසාදිතයින් 61 දෙනෙකු හඳුනාගැනුණු අතර ඔවුන් අක්කරමලේ, මරක්කලාවත්ත හා මහගම්මැද්ද ප්‍රදේශවලින් හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයින් 61 දෙනා දර්ගා නගරයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගැනුණි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් තුන්දූව බටහිර සහ තුන්දූව නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණි.

ඒ, තුන්දූව ප්‍රදේශයෙන් ආසාදිතයින් 41 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමගය.

Related posts

තැපැල් ඡන්දය සලකුණු කිරීම අද දෙවන දිනටත්

Mohamed Dilsad

දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් හරහා සෞඛ්‍ය සේවකයින්ට අද සිට ඉන්ධන

Mohamed Dilsad

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

Leave a Comment