ප්‍රමුඛ පුවත 1

පොලොන්නරුවේ වකුගඩු රෝහලේ ඉදිකිරීම් පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

(උදයම්,කොළඹ)   – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජයේ පරිත්‍යාගයක් අනුව පොලොන්නරුවේ ඉදිකිරීමට නියමිත වකුගඩු රෝහලේ ඉදිකිරීම් පිළිබඳ අවබෝධතා ගිවිසුමට අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අත්සන් තැබිණි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ චීන රජය වෙනුවෙන් චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක Yang Zuoyuan මහතා විසින් එම ගිවිසුමට අත්සන් තබන ලදී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 මාර්තු මාසයේදී චීනයේ සිදු කරන ලද නිල සංචාරයේ දී චීන ජනාධිපති ෂී ජින්පින්  මැතිතුමා සමග පැවැත්වූ සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස චීන රජයේ පරිත්‍යාගයක් ලෙස මෙම වකුගඩු රෝහල ශ්‍රී ලංකාවට හිමි විය.
ඇඳන් 200 කින්, රුධිර කාන්දුකරණ යන්ත‍්‍ර 100 කින් හා නවීන තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර සංකීර්ණයක් සහිත වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් පහසුකම්වලින් සමන්විත  ජාතික මට්ටමේ රෝහලක් ලෙස මෙම රෝහල ඉදිකෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් බිලියන 12 කි.
මූලය හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාව පීඩාවට පත්ව ඇති අතර එම සියලුදෙනා වෙනුවෙන් වූ දීර්ඝකාලීන අවශ්‍යතාවය සපුරාලමින් ඉදිකෙරෙන මෙම වකුගඩු රෝහල සඳහා ලබන ජූලි මසදී ජනාධිපතිතුමා අතින් මුල්ගල් තැබීමට නියමිතය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක, පොලොන්නරුව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර යන මහත්වරුන් ද චීන තානාපති Yi Xianliang  මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

ගුරු සහ විදුහල්පති සංගම් 30 ක් ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

පර්පචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගම වංචාවක් කල බව හෙළි වෙයි

Mohamed Dilsad

ඕනෑම හදිසි ආපදාවක් දැනුම්දීමට දුරකථන අංක දෙකක්

Mohamed Dilsad

Leave a Comment