Trending Newsඑසැන පුවත්දේශීය

සතොස සූදු ලූණු නඩුවට අධිකරණය දුන් නියෝගය

සතොස ආයතනය විසින් 2021 වසරේ සහන මිලට මහජනතාවට අළෙවි කිරීම සඳහා වෙන් කර තිබූ සුදු ලූණු කිලෝග්‍රෑම් 54,860ක් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකර අඩු මුදලකට පුද්ගලික ව්‍යාපාරික ආයතනයකට අළෙවි කිරීමෙන් රජයට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයට අධික පාඩුවක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සතොස ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමණාකරුවෙකු ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවට ඊයේ (29) ඉදිරිපත් කර තිබුණි.

එහිදී අල්ලස් කොමිෂම අධිකරණයට දැනුම් දුන්නේ 2021 වසරේ ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද බහාලුම් දෙකක අඩංගු සුදු ලූණු කිලෝග්‍රෑම් 54,860ක් සතොස ආයතනය හරහා සහන මිල ගණන් යටතේ මහජනතාවට අළෙවි කිරීම සඳහා එවක වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබූ බවය.

එසේ තිබියදී එම සුදු ලූණු තොගය මහජනතාවට අළෙවි නොකොට පුද්ගලික සමාගමකට අළෙවි කර ඇති බව අල්ලස් කොමිෂම සඳහන් කර ඇත.

අදාළ කාලය තුළ සතොස ආයතනය විසින් සුදු ලූණු කිලෝග්‍රෑමයක් රුපියල් 445කට අලෙවි කර තිබියදී, එම සුදුලූණු කිලෝග්‍රෑමයක් රුපියල් 135ක් වැනි අඩු මිලකට අළෙවි කිරීම හේතුවෙන් රජයට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂ 6,660ක පාඩුවක් සිදුවී ඇති බවද කොමිෂමේ නිලධාරිනිය අධිකරණයට දැනුම් දුනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකරගෙන යන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිෂම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ සුදු ලූණු තොගය අළෙවි කිරීමට තීරණය ගනු ලැබුවේ සැකකරුවන් විසින් නොව සතොස ආයතනයේ ආයතනික තීරණයකට අනුව බවය.

එමෙන්ම අදාළ සුදු ලූණු තොගය නරක්වීමට ආසන්න තත්ත්වයක පැවති බැවින් මෙලෙස අළෙවි කිරීමට කටයුතු කර ඇති බවද විත්තියේ නීතිඥවරු අධිකරණයට පෙන්වා දුනි.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතර, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියම කළේය.

ඉන් අනතුරුව මෙම නඩුව ජුනි මස 09 වැනිදා නැවත කැඳවීමට නියම විය.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ‘FIFA සාම ත්‍යාගය

Editor O

Silent protest before Katuwapitiya church

Mohamed Dilsad

ධිවරයින් 07කට මරණීය දණ්ඩනය

Mohamed Dilsad

Leave a Comment