දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ පහක දීමනාව ගෙවීමේ කටයුතුවලින් අද (19) සිට ඉවත්වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබේ.
එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ අදාළ ගෙවීම් සිදු කිරීමට අදාළ චක්‍රලේකයෙහි පවතින අඩුපාඩු හේතුවෙන් මෙම තීරණය ගත් බවය.
අදාළ ගෙවීම් සිදුකිරීමේ ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කළ බව ද නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 දීමනාවක් ලබා දීමට රජය තීරණය කළේය.
නමුත් ඊට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛයේ බරපතළ අඩුපාඩු ඇතැයි චෝදනා කරමින් ප්‍රාදේශීය ලේකම් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයත්, රජයේ ගණකාධිකාරිවරුන්ගේ සංගමයත් ගෙවීම් කටයුතුවලින් ඉවත් විය.
ඉන්පසු එම දීමනාව ගෙවීමේ වගකීම ග්‍රාම නිලධාරින් වෙත පැවරුණු අතර අද සිට තමන්ද එම මුදල් ගෙවීමේ කටයුතුවලින් ඉවත්වන බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය සඳහන් කර සිටී.
එමෙන්ම ආපදා රාජකාරීවල නිරතවන තමන්ට ඒ වෙනුවෙන් ප්‍රමාණවත් දීමනාවක් හිමි නොවන බවටද ඔවුන් චෝදනා කර සිටී.
