Trending Newsඑසැන පුවත්දේශීය

ග්‍රීක බැඳුම්කර නඩුවෙන්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු සිව්දෙනා නිදොස් කොට නිදහස් කරයි…

ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමට අදාළ 2011 වසරේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුවෙන් ඔවුන් අද (10) නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා මෙම නියෝගය ලබා දුන්නේ, අල්ලස් කොමිෂම විසින්ම විත්තිකරුවන්ට එරෙහිව පවරා තිබූ චෝදනාපත්‍රය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙනි.

අල්ලස් කොමිෂම මෙම නඩුව පවරා තිබුණේ, 2011 වර්ෂයේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම මගින් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ ය.

නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක සහ නලින් ලද්දු හෙට්ටිආරච්චි යන මහත්වරුන් ලිඛිතව කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, එම බැඳුම්කර ගනුදෙනුව මහ බැංකුවේ රෙගුලාසිවලට හා මූල්‍ය වාර්තා රෙගුලාසිවලට අනුකූලව නීත්‍යානුකූලව සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියෝගයක් නිකුත් කර තිබියදී, දෙවන වරටත් අල්ලස් කොමිෂම විසින් මෙම නඩුව පවරා තිබීම යුක්තිසහගත නොවන බවයි.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින්, අල්ලස් කොමිෂම සිද්ධියට අදාළව විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව පවරා තිබූ චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම නිසා, මහාධිකරණය විසින් අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන ලදී.

Related posts

ஒரு நிமிடத்திற்கு 20 லட்சம் ரூபாய் சம்பளம்-மெஸ்சி

Mohamed Dilsad

ප්‍රධාන ජලාශ 36ක් වාන් දමයි

Editor O

Sri Lankan detained in Mumbai attempting to smuggle gold

Mohamed Dilsad

Leave a Comment