පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් ප්‍රශ්න කිරීමක් කළ සැකකරුවෙක්, එක්සත් රාජධානියේ සරණාගතභාවය පතමින් සිටින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මෙම සැකකරුව 2022 වසරේ දී ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඇප මත නිදහස් කර ඇති බව සඳහන් වේ.
ඉන් පසුව ඔහු එම වසරේදීම ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට පිටව ගොස් එහි සරණාගතභාවය ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.
කෙසේවුවද, අදාළ තැනැත්තා ඔහුට එල්ලව ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොලීසිය ඔහුව සොයා නිවසට ගොස් ඇති බැවින් නැවතත් ලංකාවට යෑමට සිදුවුවහොත් හිංසාවට සහ පීඩාවලට ලක්විය හැකි බවය.
විදෙස් මාධ්‍ය මෙම සැකකරුව නිර්නාමිකව හඳුන්වා දී ඇති අතර ඔහු සමග ඔහුගේ බිරිඳ ද සරණාගත භාවය ඉල්ලුම් කර ඇති බව සඳහන් වේ.
එම ඉල්ලීම් පළමුවෙන් එරට ස්වදේශ කටයුතු කාර්යාලය “Home Office” විසින් ප්‍රතික්ෂේප කර ඇති නමුත්, සැකකරු නැවතත් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් මේ වන විට එම නඩුව නැවතත් විභාගයට ගෙන ඇති බවත් සඳහන් වේ.
“2022 ජනවාරි 5 වන දින ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ බවත්, පසුව අල්ලසක් ලබා දී ඔහු නිදහස්වූ බවත්, පසුව ඔහු 2022 සැප්තැම්බර් 2 වන දින ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට පිටත්ව ගිය බවත්, ඉන් පසුව 2022 සැප්තැම්බර් 15 වන දින ඔහුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇත් බවත්.” ඔහු එරට නඩු විභායේ දී පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
2019 වසරේ පාස්කු ඉරිදා සිදු කළ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ගෙන් 269 දෙනෙකු මිය අතර ඒ අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් 6 දෙනෙකු ද විය.
කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීමකින් මියගිය පිරිස අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් වන 42 හැවිරිදි ඇනීටා නිකල්සන් සහ ඇගේ දරුවන් වන 14 හැවිරිදි ඇලෙක්සැන්ඩර් සහ 11 හැවිරිදි ඇනබෙල් ද විය.
