සමගි ජන බලවේගය ඇතුළු සමස්ත විපක්ෂයම ළඟදීම එකම දේශපාලන වේදිකාවකට ගෙන ඒමට කටයුතු කරන බව , හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි .
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ ( 21) නුගේගොඩදී පැවැත්වුණු ‘මහා ජන හඬ’ විපක්ෂයේ ජනරැළියට සහභාගී වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේද පැවසීය .
“ජනාධිපතිතුමා ඊයේ තංගල්‍ලේදී කිව්වා නුගේගොඩ රැස්වීම පවත්වන්නේ කුඩුකාරයින් ආරක්ෂා කරගන්න කියලා. මොකක්ද මේ බහුබූත කතාව. නුගේගොඩ රැලියේදී කවුරුවත් කුඩුවලට පක්ෂව කතා කළාද?”
ඒ මහතා වැඩිදුරටත් චෝදනා කළේ, ආණ්ඩුව බිය වී, විපක්ෂය නගන හැම විරෝධතාවයකටම “කුඩුවලට පක්ෂපාතී” යැයි චෝදනා කරන බවයි.
ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු සහ ප්‍රකාශ සම්බන්ධයෙන්ද ගම්මන්පිල මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
“ජනාධිපතිතුමා කියපු බොරු තොගය ජනතාව හොඳටම දන්නවා. ඒ නිසා ජනතාව දැන් මේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කරනවා. මාස දාහතරක්ම බොරු කිව්වා. තවත් මාස දාහතරක කාලයක් දෙන්නම්. අපි කියනවා ජනාධිපතිතුමාට මැදමුලනට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයාට වැඳලා සමාව ගන්න කියලා මේ කියපු බොරු තොගයට.”
එසේම, ජනාධිපතිවරයා සිදුකළ “බොරුවලට” ජාතියෙන්ම සමාව ගත යුතු බවටද උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
