මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීම සඳහා භාවිත කරන සළකුණු නිර්මාණය කළැයි කියන සිද්ධියකට අදාළව ජාතික ජන බලවේගයේ දෙහිවල ගල්කිස්ස කොට්ඨාස සංවිධායකවරයකු පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් පෙරේදා (15) අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දෙහිවල ගල්කිස්ස මහනගර සභාවට තරග කළ අයකු බවද පොලිසිය සඳහන් කළේය.
මෙම ස්ථානයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් භාවිත කරන ලද සංකේත ඇතුළත් ස්ටිකර් විශාල ප්‍රමාණයක් ද සොයාගෙන ඇත.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් ආරියවංශ වෙත ලද තොරතුරකට අනුව එම කාර්යංශයේ පරිගණක විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ගල්කිස්ස ප්‍රදේශයේ ස්ථානයකදී මෙම වැටලීම සිදුකර තිබිණි.
මේ අනුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන මර්වින් ජානා, කුඩු අයි.ඩී. සහ චූවා සමන්ත වැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සලකුණු කලක පටන් ඔහු විසින් නිර්මාණය කර තිබෙන බවද අනාවරණය වී ඇත.
මෙම ස්ටිකර් ගල්කිස්ස හා බඩෝවිට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බහුලව භාවිත කර ඇති බවට සැකකරන බවද පොලිසිය සඳහන් කළේය.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකගේ වුවමනාව මත ප්‍රතිවාදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාලයේ සලකුණු සහිත කොළ තොගයක් ද මෙම සැකකරු විසින් මුද්‍රණය කර තිබෙන බවටද තොරතුරු වාර්තා වී ඇත.
බඩෝවිට අසංකගේ ප්‍රතිවාදී පාර්ශ්වයේ වුවමනාව මත මෙම ක්‍රියාව සිදුකර ඇතැයි සැකකරන බවද පොලිසිය සඳහන් කළේය.
එහි තිබී හමුවූ බඩොවිට අසංකගේ සලකුණු ඒ 4 කොළවල මුද්‍රණය කර තිබූ බවද අසංකගේ මත්ද්‍රව්‍ය ජාලය භාවිත කරන්නේ එම ස්ටිකර් බවද ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදුවන බවද පොලිසිය පැවැසීය.
තවද මෙම සැකකරු විසින් කාන්තාවන් දෙදෙනකුගේ නම් ද හෙළිකර තිබෙන බවත් එක් කාන්තාවක ජීවතුන් අතර හෝ නොමැති බවත් අනෙක් කාන්තාව මත්ද්‍රව්‍ය චෝදනාවකට මේ වනවිටත් බන්ධනාගාර ගතව සිටින්නියක බවත් පොලිසිය සඳහන් කළේය.
මෙම ස්ථානයේ තිබී කූට ලෙස සැකසූ ව්‍යාජ ස්ටිකර් තොගයක් ද පොලිස් නිලධාරීන් සොයාගෙන ඇති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකරනු ලබයි.
මූලාශ්‍රය – අරුණ
