ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා වන BYD සමාගම, තාක්ෂණික දෝෂ හේතුවෙන් සිය මූලික වෙළෙඳපොළ වන චීනයෙන් වාහන 115,000කට අධික ප්‍රමාණයක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබේ.
පිරිවැය අවම කිරීමේ උපාය මාර්ග හේතුවෙන් සමාගමේ නිෂ්පාදනවල තත්ත්ව පාලනය (Quality Control) පිළිබඳව මෙම සිදුවීමෙන් බරපතළ ගැටලු මතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීන රාජ්‍ය වෙළෙඳපොළ නියාමන පරිපාලනය විසින් කරන ලද නිල විමර්ශනවලට අනුව මෙම කැඳවීම් දෙක සිදු කර ඇති අතර, එයට දෙමුහුන් (Hybrid) සහ Pure-electric මාදිලි දෙකම ඇතුළත් වේ.
පළමු කැඳවීම (Tang Hybrid): 2015 මාර්තු සිට 2017 ජූලි දක්වා නිෂ්පාදනය කළ ‘ටැන්ග්’ (Tang) දෙමුහුන් රථවල ඒකක 44,000ක් පමණ මෙයට ඇතුළත්ය. මෙහිදී ධාවක මෝටර පාලකයේ (drive motor controller) සැලසුම් දෝෂයක් හේතුවෙන් පරිපථ පුවරුව දැවී යාමේ අවදානමක් සහ ආන්තික අවස්ථාවලදී බලශක්ති හානියක් සිදුවිය හැකිය.
දෙවන කැඳවීම (Yuan Pro Electric): 2021 පෙබරවාරි සිට 2022 අගෝස්තු දක්වා නිෂ්පාදනය කළ ‘යුවාන් ප්‍රෝ’ (Yuan Pro) විදුලි හරස්කඩ වාහන ඒකක 70,000ක් පමණ විශාලතම කැඳවීමට ඇතුළත්ය. මෙහි ප්‍රධාන දෝෂය වන්නේ බැටරියේ ජල ආරක්ෂිත සැලසුමේ ගැටලුවක් වන අතර එය බලශක්ති නිමැවුමට බලපෑම් කළ හැකිය.
මෙම තත්ත්ව ගැටලු මතු වී ඇත්තේ, චීනයේ විදුලි වාහන වෙළෙඳපොළේ පවතින දැඩි මිල යුද්ධය හමුවේ BYD සමාගමට සිය වෙළෙඳපොළ ආධිපත්‍ය අහිමි වෙමින් පවතින පසුබිමකය.
BYD සමාගම පසුගිය සැප්තැම්බර් මාසයේදී මාස 18කට පසු සිය පළමු මාසික විකුණුම් පහත වැටීම වාර්තා කළ අතර, වෙළෙඳපොළ තත්ත්වය හේතුවෙන් 2025 වසර සඳහා වූ විකුණුම් ඉලක්කය ද ඒකක මිලියන 5.5 සිට මිලියන 4.6 දක්වා අඩු කිරීමට සමාගමට සිදුව තිබේ.
මෙම කැඳවීම, දේශීය මිල-අඩු ක්‍රීඩකයෙකු (price-competitive player) ලෙස තිබූ ප්‍රතිරූපය වෙනස් කර ගෝලීය සන්නාමයක් ගොඩනැගීමට BYD සමාගම දරන උත්සාහයට ප්‍රබල අභියෝගයක් වී ඇත.
