Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ක්‍රිප්ටෝ ශ්‍රී ලංකාවේ භාවිතා කරන්නේ මුදල් විශුද්ධීකරණයටයි – මහ බැංකු අධිපති

ක්‍රිප්ටෝ මුදල් යනු කිසිදු රාජ්‍ය මූල්‍ය අධිකාරියක පාලනයකින් තොරව පෞද්ගලිකව නිර්මාණය කෙරෙන, අතථ්‍ය මුදල් වර්ගයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙම ඩිජිටල් වත්කම් ක්‍රියාත්මක වන්නේ ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) වැනි නවීන ක්‍රමවේද හරහාය. ඒවා සාමාන්‍යයෙන් භෞතික මුදල් මෙන් එදිනෙදා ගනුදෙනු සඳහා භාවිත කළ නොහැකි වුවත්, අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන ගෙවීම් සඳහා යොදා ගත හැකිය.

මහ බැංකුව නිරීක්ෂණය කර ඇති ආකාරයට, ක්‍රිප්ටෝ මුදල් ලාභදායී ආයෝජන අවස්ථාවක් ලෙස ප්‍රචලිත වී ඇත. නමුත් මෑතකාලීනව වාර්තා වූ පැමිණිලිවලින් පෙනී යන්නේ, මෙවැනි ආයෝජන නිසා විශාල වශයෙන් මූල්‍ය පාඩු සිදුව ඇති බවයි. ඇතැම් අවස්ථාවලදී මේවා වංචනික ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට ද තොරතුරු ලැබී ඇත.

ලෝකයේ බොහෝ රටවල්, උදාහරණයක් ලෙස ඇමරිකාව, එක්සත් රාජධානිය සහ ජපානය වැනි රටවල්, ක්‍රිප්ටෝ මුදල් යම්තාක් දුරකට නියාමනය කර තිබුණත්, ශ්‍රී ලංකාව තුළ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.

මහ බැංකුව අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝ මුදල් නීත්‍යානුකූල මුදල් ලෙස පිළි නොගන්නා බවත්, ඒවා භාවිතය සඳහා කිසිදු නියාමන ආරක්ෂාවක් නොමැති බවත්ය. ඒ අනුව, ක්‍රිප්ටෝ මුදල් නියාමනය නොවන ආයෝජන උපකරණයක් ලෙස සලකනු ලබයි.

තවද, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කළ නියෝගයකට අනුව, ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු සඳහා ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කිරීම ද තහනම්ය. මහ බැංකුව පෙන්වා දෙන්නේ ක්‍රිප්ටෝ මුදල් රටේ ආර්ථිකයට කිසිදු දායකත්වයක් නොදක්වන අතර, ජාතික මූල්‍ය පද්ධතියට අහිතකර ලෙස බලපාමින් විදේශ විනිමය අහිමි වීමට ද හේතු විය හැකි බවයි.

මීට පෙර අවස්ථාවක මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ, “ලංකාව තුළ ක්‍රිප්ටෝකරන්සි භාවිතය නීත්‍යනුකූල නැහැ” යනුවෙනි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකය රුපියල බවත්, නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා ක්‍රිප්ටෝ මුදල් බහුලව භාවිත වන බවට තොරතුරු පවතින බවත්ය.

Related posts

[UPDATE] – Secretary to the President P. B. Abeykoon resigns; Austin Fernando to be appointed

Mohamed Dilsad

වරාය නගරය කොමිෂන් සභා පනතට කතානායකවරයා අත්සන් තබයි

Mohamed Dilsad

පැය අටකදී විදෙස් ජාතිකයන් 136 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment