Trending Newsඑසැන පුවත්දේශීය

නඩු ගොනුවක පිටු ඉරූ නීතීඥවරයා⁣ගේ වෘත්තීයභාවය අහෝසි කරයි

අභියාචනාධිකරණ නඩු ගොනුවක පිටු අනීතික ලෙස ඉරා ඉවත් කිරීම තුළින් නීතීඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඩබ්ලිව්.ඩී. ධර්මසිරි කරුණාරත්න නමැති නීතිඥවරයකුගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ  (06 වැනිදා) තීන්දු කළේය.

අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී විසින් අදාළ නීතිඥවරයාට එරෙහිව කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කුමුදුනි වික්‍රමසිංහ, අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් ඊයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

මෙම වගඋත්තරකාර නීතිඥවරයාට එරෙහිව ගොනු කෙරුනු චෝදනාවල සඳහන් වෙන්නේ මොහු අභියාචනාධිකරණයේ ලේඛනාගාරයට පිවිස නඩු ගොනුවක් ලබාගෙන අනීතික ලෙස එහි පිටු දෙකක් ඉරා ඉවත් කර ඇති බවයි.

ඉන් අනතුරුව අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී ඩබ්ලිව්.එස්.බී.එස්.ප්‍රනාන්දු විසින් මරදාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ නීතිඥවරයා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර 2023 වසරේ ජනවාරි මස 25 වැනිදා රුපියල් ලක්ෂපහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණු බවත් නඩු තීන්දුවේ සඳහන් වේ.

ඉන් අනතුරුව නීතිඥ භාවය ඉවත් නොකිරීම සඳහා නිදහසට කරුණු දක්වන ලෙස දන්වා අධිකරණ සංවිධාන පනතේ 42(3) යටතේ චෝදනා පත්‍රයක් නිකුත් කළ අතර ඔහු එම චෝදනාවලට නිවැරදිකරු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

ඉන් අනතුරුව මෙම චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි විභාගයක් පැවති අතර එහිදී වග උත්තරකාර නීතිඥවරයාද සාක්ෂි ලබාදුන්නේය.

ඉදිරිපත් වූ කරුණු මත තීන්දුව ප්‍රකාශයට පත්කළ අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණ සංවිධාන පනතේ 40 වන වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥවරු ලෙස පිළිගෙන බඳවා ගන්නේ හොඳ කීර්තියක් ඇති සහ දක්ෂ දැනුමක් සහ හැකියාවක් ඇති පුද්ගලයන් පමණක් බව මතක තබා ගත යුතු යැයි සඳහන් කළේය.

එවැනි නීතිඥවරුන්ට ලියාපදිංචි වූ පසු කිසිදු වංචාවක්, අක්‍රමිකතාවක්, අපරාධයක් හෝ වරදක් කළ නොහැකි අතර එය මහජනතාවගේ සහ රටේ යුක්තිය පසිඳලීමේ කටයුතුවලට සම්බන්ධ වූවන්ගේ සාධාරණ අපේක්ෂාවක් බවත් තීන්දුවේ සඳහන් විය.

නීතිඥවරයෙකුට අපේක්ෂිත ප්‍රමිතිය පවත්වා ගැනීමට නොහැකි නම්, එවැනි නීතිඥවරයෙකුට තවදුරටත් එම තනතුරේ කටයුතු කිරීමට අවසර දිය නොහැකි අතර

යහපත් කීර්තියක්, දැනුමක් සහ හැකියාවක් ඇති පුද්ගලයන් පමණක් නීතිඥවරු ලෙස කටයුතු කරන බවට මහජනතාව තුළ පවතින අභිලාෂය ද සැලකිල්ලට ගැනීම තම අධිකරණයේ යුතුකමක් බවත් අගවිනිසුරුවරයා කියා සිටියේය.

යුක්තිය පසිඳලීමේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම සහ මෙවැනි අවස්ථාවක ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමේදී නීති ක්ෂේත්‍රයේ සාමාජිකයන්ගෙන් අපේක්ෂා කරන ප්‍රමිතීන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ද පවතී.

මෙම වතාවරණය මත වගඋත්තරකාර නීතිඥවරයාගේ ක්‍රියා කලාපය සමස්තයක් ලෙස මේ රටේ නීති වෘත්තියේ කීර්ති නාමයට කැළලක් ඇති කර ඇති ආකාරය පෙන්වීමට තවදුරටත් හේතු දැක්වීම අවශ්‍ය යැයි තමා නොසිතන බවත් අග විනිසුරුවරයා සිය තීන්දුවේ ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව වගඋත්තරකාර නීතිඥවරයා අධිකරණ සංවිධාන පනතේ 42 වන වගන්තිය ප්‍රකාරව ඔහු වහාම නීතිඥ භාවයෙන් ඉවත් කිරීමට නියෝග කරන බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සිය තීන්දුවේ සඳහන් කළේය.

ඒ අනුව මෙම නියෝගය අනුව කටයුතු කර අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එහි රෙජිස්ටර්වරයාට කළ නියෝගය වැඩිදුරටත් සඳහන් විය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා පෙනී සිටි අතර වග උත්තරකාර නීතිඥවරයා වෙනුවෙන් නීතිඥ යළිත් විජේසුන්දර මහතා පෙනී සිටියේය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොහාන් සහබන්දු මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

Related posts

England seal series win over Pakistan

Mohamed Dilsad

Channel storm damaged Russian S-400 missiles bound for China

Mohamed Dilsad

நாளாந்தம் 500-600 டெங்கு நோயாளர்கள் பதிவு

Mohamed Dilsad

Leave a Comment