ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවය කළ ජාතික සේවක සංගමයේ සාමාජිකත්වය දැරූ නිසි සුදුසුකම් නොලැබූ සේවක සේවිකාවන් 55 දෙනෙකුට 2015 වර්ෂයේ උසස් වීම් හා වැටුප් වර්ධක ලබාදීමට එම සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි හෙයින් එකී උසස් වීම් හා වැටුප් වර්ධක බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
උසස් වීම් හා වැටුප් වර්ධක සඳහා හිමිකම් ලබන සුදුසුකම් ලැබූ විශාල පිරිසක් සිටියදී එය නොතකා ජාතික සේවක සංගමයේ සාමාජිකයන්ට පමණක් එකී උසස් වීම් හා වැටුප් වර්ධක ලබාදීම අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිදහස් සේවක සංගමය ඇතුළු සේවක සංගම් හතරක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන හා ජනක් ද සිල්වාගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසින් ඊයේ (5) මෙම නියෝගය ලබාදී තිබේ.
එම වකවානුවේ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධූරය දැරූ නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කළ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ඩබ්ලිව්. ජයසිරි, මහාචාර්ය කීර්ති සමරසිංහ, චන්ද්‍රිකා කුලතිලක සහ ඒ. ඒරානන්ද හෙට්ටිආරච්චි යන පිරිස මෙම නීති විරෝධී උසස් වීම් හා වැටුප් වර්ධක ප්‍රදානය කිරීමට අනුමැතිය ලබාදීම මගින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවත් ඒ වෙනුවෙන් ඔවුන් සිය පෞද්ගලික මුදලින් රුපියල් 480,000ක් පෙත්සම්කරුවන්ට මාස දෙකක් ඇතුළත ගෙවිය යුතු බවට ද නියෝග කර තිබේ.
මෙම තීන්දුව ලබාදුන් දින සිට මාස හයක කාලයක් ඇතුළත ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සඳහා බඳවා ගැනීම් හා උසස් වීම් පිරිනැමීම සඳහා විධිමත් ක්‍රියාපටිපාටියක් සකස් කරන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව නිකුත් කරමින් එම සංස්ථාවේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයට නියෝග කොට ඇති අතර එසේ සකස් කරනු ලබන අදාළ බඳවා ගැනීමේ හා උසස් වීම් ක්‍රියාපටිපාටියේ අදාළ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කර තිබේ.
