ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් තමන්ව ඉවත් කිරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව එම පක්ෂයේ නිලතල දැරූ දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අගෝස්තු මස 20 වනදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.
එම පැමිණිල්ල අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවීය.
එහිදී පැමිණිලිකාර දුමින්ද දිසානායක, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරු වරයා එම පැමිණිල්ල ඒක පාක්ෂිකව විභාගයට ගැනීම සඳහා අගෝස්තු මස 20 වනදා කැඳවන ලෙස නියම කළේය.
අදාල පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
.
තමන්ව අත්තනෝමතික ආකාරයෙන් ධුර වල කටයුතු කිරීම අත්හිටුවීමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් කටයුතු කළ දුමින්ද දිසානායක , භාණ්ඩාගාරික ලසන්ත අලගිය වන්න සහ ජේෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර යන මහත්වරු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කෙරිණ.
-දිවයින
