පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරියේ සාකච්ඡාවට භාජනය වූ හන්තාන ඉඩමේ අයිතියක් කිසිඳු දිනෙක තමාට නොතිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාවේ දී ප්‍රකාශ කර ඇති අසත්‍ය සහ අපහාසාත්මක තොරතුරු උපයෝගී කරගෙන මාධ්‍ය සහ සමාජ මාධ්‍යය හරහා මෙම ඉඩමේ අයිතිය සම්බන්ධව තමන්ගේ කීර්ති නාමයට හානි වන ආකාරයේ පුවත් සංසරණය වූ බවත් මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාව ඉදිරියේ සාකච්ඡාවට බඳුන්වු හන්තාන ඉඩමේ අයිතියක් කිසිම දිනක තමන්ට නොතිබුණ බව මන්ත්‍රීවරිය අවධාරණය කළාය. ඇය මෙහිදි පවසා සිටියේ රජයට අයිති කිසිම ඉඩමක් කිසිම දිනක තමන්ගේ නමට පවරාගෙන නැති බවයි.
එවැනි ඉඩමක් දේශපාලන බලපෑම් යොදාගෙන අයිතිකරගෙන ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තුළ කරන ලද ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක්වන අතර තමන්ට කරන අපහාසයක් මෙන්ම නින්දාවක් බව ද ඇය ප්‍රකාශ කළාය.
මන්ත්‍රීවරයෙක් ලෙස මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියා කලාපය ගැන යම් අපහාසාත්මක ප්‍රකාශයක් පළ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පමණක්ම දඬුවම් කළ හැකි වරදක් බව පැවසු චමින්ද්‍රාණී මහත්මිය පාර්ලිමේන්තුව තුළ හෝ යම් කාරක සභාවක් තුළ ව්‍යාජ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිමත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම දඬුවම් කළ හැකි වරදක් බව ද කීවාය.
එමෙන්ම පාර්ලිමේන්තුව තුළ දී හෝ කාරක සභා තුළ දී මන්ත්‍රිවරයෙකුට නින්දා කිරිම ශ්‍රේෂ්ඨාධිකරණය හෝ පාර්ලිමේන්තුව විසින් දඬුවම් කළ හැකි වරදක් බව පෙන්වා දුන් චමින්ද්‍රාණි කිරිඇල්ල යම් තැනැත්තෙක් යම් කාරක සභාවක් ඉදිරියේ පරීක්ෂණයක් කරගෙන යන අතරතුර යම් ප්‍රශ්නයකට ඕනෑකමින් පිළිතුරක් ලබා දෙන්නේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ 190වන වගන්තිය යටතේ වරදකට ඔහු වරදකරු විය යුතු බව අවධාරණය කළාය.
ඇය සඳහන් කළේ හන්තාන ඉඩම සම්බන්ධව කළ ප්‍රකාශය අසත්‍ය සහ නින්දිත එකක් බවත්, ඉන් තමන්ගේ වරප්‍රසාද කඩ වී ඇති බවත්ය. මේ ගැටලුව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත යොමු කරන ලෙසත් චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය ඉල්ලීමක් කළාය.
ඒ අනුව නියෝජ්‍ය කථානායකවරයා එම ප්‍රශ්නය වරප්‍රසාද කමිටුව වෙත යොමු කළේය.
