Trending Newsඑසැන පුවත්දේශීය

පොලීසියට කැඳවනවානම් චෝදනාව කියලා ඉන්න ! – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලීසියට නියෝගයක්

විමර්ශන කටයුතු සඳහා කිසියම් තැනැත්තෙක් පොලිස් ස්ථාන වලට කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් වැඩබලන පොලිස්පතිවරයා ලිපියක් නිකුත් කර තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, විදුර රලපනාව විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක සමථයකට අනුවය.

ෆේස්බුක් හි කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදක්වා පොලීසියට “ප්‍රකාශයක් දීමට කැඳවීම” ව්‍යවස්ථා විරෝධී බවට විදුර රලපනාව මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණ.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලය පිළිබඳ ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් රලපනාව මහතා අභියෝග කළ SC(FR) 266/2023 දරන ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් අයදුම්පතෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.

පොලිස් ස්ථානයට කැඳවීමට පෙර චෝදනා මොනවාද යන්න සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුම්දීමක් සිදු කිරීම, ප්‍රකාශයක් ලබා ගැනීමට ඇති අවශ්‍යතාවය පැහැදිලි කිරීම ඇතුළු ක්‍රියා මාර්ග කිහිපයක්ම ඊට ඇතුළත් වේ.

විවිධ ක්‍රම වලට පොලිස් ස්ථාන වෙත මුල් තොරතුරු ලැබෙන අතර, එකී මුල් තොරතුරු පිළිබඳව විමර්ශනය සිදු කිරීමේ වගකීම පොලිස් ස්ථානය භාර නිලධාරියා සතුය. එයට අදාල නෛතික ප්‍රතිපාදන 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතෙහි සඳහන් ව ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පෙන්වා දෙයි.

ඒ අනුව, 1980 අංක 52 දරණ පනතින් සංශෝධිත අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109 වගන්තිය සහ 110 වගන්තිය වෙතට අවධානය යොමු කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා නිලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව, වරදක් සිදු කිරීම පිළිබඳව ලද මුල් තොරතුරෙන් අනාවරණය වී ඇති විටකදී විමර්ශනයක් ආරම්භ කර විමර්ශනයේ අවශ්‍යතාවය මත පොලිස් ස්ථාන වලට සැකකරුවන්, සාක්ෂිකරුවන් වින්දිත පාර්ශවයන් ඇතුළු පුද්ගලයින් කැඳවන විට දී පහත කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ක්‍රියා කළ යුතු බවට මෙම ලිපිය මඟින් දැනුම් දී තිබේ.

i. පැමිණිල්ලකට අදාලව, සැකකරුගේ ප්‍රකාශයක් සටහන් කිරීම සඳහා පොලිස් ස්ථානයට කැඳවීමේ දී ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා / දෝෂාරෝපණ මොනවාද යන්න සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුම්දීමක් එකී තැනැත්තා වෙත ලබා දිය යුතුය.

ii. සිදු කරන ලද විමර්ශනයට අදාල ව යම් තැනැත්තෙකු සාක්ෂිකරුවෙකු වශයෙන් පොලිස් ස්ථානයට කැඳවීමේ දී එකී තැනැත්තාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඇති අවශ්‍යතාවය පිළිබඳව ද ප්‍රමාණවත් දැනුදීමක් එකී තැනැත්තා වෙත ලබා දිය යුතුය.

ඉහත (i) හා (ii) සඳහන් අවස්ථා හැරුනු කොට, වෙනත් යම් අවස්ථාවක දී යම් තැනැත්තෙකු පොලිස් ස්ථානයට කැඳවන්නේ නම්, එකී තැනැත්තාට ද පොලිස් ස්ථානයට කැඳවීමට ඇති අවශ්‍යතාවය පිළිබඳව ප්‍රමාණවත් දැනුම්දීමක්, එකී තැනැත්තා වෙත ලබා දිය යුතුය.

iv.ඉහත (i), (ii) හා (iii) ජේද වල සඳහන් පරිදි කටයුතු කිරීමට දුරකථනයෙන් දැනුම් දෙන අවස්ථාවක දී හා / හෝ වෙනත් ඕනෑම ආකාරයක දැනුම්දීමක දී, අදාල ස්ථානාධිපතිවරයා එකී උපදෙස් පරිදි ක්‍රියා කල යුතුය.

V. පැමිණිලිකරුවෙකුට හා / හෝ වින්දිතයෙකුට හා / හෝ සාක්ෂිකරුවෙකුට විය හැකි අනිසි බලපෑම් සැලකිල්ලට ගෙන එකී පැමිණිලිකරු හා / හෝ වින්දිතයෙකු හා / හෝ සාක්ෂිකරුවෙකුගේ නම්, ඒ පිළිබඳව විමසා සිටින වෙනත් තැනැත්තෙකුට හෙලි කිරීම පිළිබඳව, එකී විමර්ශනයට අදාල සිද්ධිමය කරුණු සලකා බලා, ස්ථානාධිපතිගේ අභිමතය මත ක්‍රියා කළ හැක.

Related posts

මිල්කෝ ආයතනය මිල දී ගන්නා දියර කිරි ලීටරයලකට ගෙවන මුදල ඉහළ දමයි

Mohamed Dilsad

පොලීසිය සිදු කළ මෙහෙයුමකින් සැකකරුවන් 755 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ගාල්ල දිස්ත්‍රික්කයේ සිසුන් 141 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment