Trending Newsඑසැන පුවත්දේශීය

කොතලාවල වෛද්‍යපීඨය දේශීය සිසුන්ට අහිමි කිරීම බරපතල වරදක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට විදේශික සිසුන් සහ කැඩෙට් නිලධාරීන් හැර දේශීය සිසුන් බඳවා ගැනීම නතර කිරීමට රජය ගෙන ඇති තීරණය බරපතළ වරදක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

“රජය තීරණය කරලා තිබෙනවා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක කරන වෛද්‍ය උපාධි පාඨමාලාව දේශීය සිසුන්ට නතර කරන්නට. මෙම වෛද්‍ය උපාධි පාඨමාලාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත්ත පාඨමාලාවක්. ඒ වගේම මේ පාඨමාලාව තුළින් විදේශීය සහ කැඩෙට් සිසුන් 50කටත් අභ්‍යන්තරව අප රටේ තවත් සිසුන් 100 කටත් වශයෙන් මුළුමනින් වාර්ෂිකව සිසුන් 150කට වෛද්‍ය උපාධිය හැදෑරීමේ අවස්ථාව ලැබෙනවා.

මෙය නතර කිරීම තුළ එක් පැත්තකින් අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිසු දූදරුවන්ට තිබෙන අවස්ථාවන් නැති කිරීමක් හැටියට අපි දකිනවා. ඒක බරපතළ වරදක්. අපේ රටේ සිසුන්ට මේ වෛද්‍ය උපාධි පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව අහිමි කරලීම තුළ බරපතළ හානිදායක දේවල් කිහිපයක් සිද්ධ වෙනවා. එක පැත්තකින් මේ පාඨමාලාව හදාරන්නට හිටපු සිසුන් අපේ රටේ රුපියල් ලක්ෂ 130ක් පමණ වැය කරලා හදාරන වෛද්‍ය උපාධිය වෙනුවට ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා රුපියලේ වටිනාකමින් ලක්ෂ 400 – 500 අතර ප්‍රමාණයක්, මැලේසියාවට ගිහිල්ලා ලක්ෂ 300 – 400 අතර ප්‍රමාණයක්, ඉන්දියාවට ගිහිල්ලා ලක්ෂ 200 – 300 අතර ප්‍රමාණයක් වියදම් කිරීම ඩොලර්වලින් සිදුකිරීම තුළ අපේ රටේ රඳවා ගන්නට පුළුවන් ඩොලර් ප්‍රමාණය රටට අහිමි වෙනවා.

ඒ වගේම කොතලාවල විශ්වවිද්‍යාලයේ මෙම වෛද්‍ය උපාධි පාඨමාලාව හදාරන සිසුන් ගණනාවක් ඉන්නවා ඔවුන්ට නැගෙනහිර විශ්වවිද්‍යාලය, සබරගමු විශ්වවිද්‍යාලය, ඌව විශ්වවිද්‍යාලයෙන් නිදහස් අධ්‍යාපනයෙන් අවස්ථා ලැබිලාත් දුරබැහැරකම නිසාත් වෙනත් හේතූන් නිසාත් කොතලාවල වෛද්‍ය පීඨයට ඒ අය ඇතුළු වෙලා තිබෙනවා. ඒ නිසාම නිදහස් අධ්‍යාපනයෙත් නැගෙනහිර, ඌව, සබරගමු විශ්වවිද්‍යාවල තවත් සිසුන් පිරිසකට අමතර අවස්ථා නිර්මාණය වෙනවා. දැන් මේ තුළ ඒ අවස්ථාවත් නිදහස් අධ්‍යාපනයේ දූදරුවන්ට අහිමි වෙනවා.

අප කළ යුත්තේ අධ්‍යාපනය තුළ සිසුන්ට අවස්ථා වැඩිකිරීමයි. අපේ රටේ වෛද්‍යවරුන් 15000 කට ආසන්න ප්‍රමාණයක හිඟයක් තියෙනවා. මේ හිඟයට පිළියම් ලබාදෙන්න ඕනෙ වෛද්‍ය පාඨමාලාවල් සිසුන්ට අහිමි කරලා නෙවෙයි, තවත් වැඩිකරලා. දැන් මේ රජය යන්නේ යායුතු මග නෙවෙයි. ලෝකයම යන මාර්ගයේ නෙවෙයි. මේ රජය යන්නේ වෙනස් මාර්ගයක. අවස්ථා අහිමි කිරීම. අපි හැමෝම පිළිගන්නවා අප රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්නට ඕනෙ. නිදහස් අධ්‍යාපනය යාවත්කාලීන කරන්නට ඕනෙ, කාර්යක්ෂම කරන්නට ඕනෙ, වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරන්නට ඕනෙ. නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ අරමුණින් කොතලාවල වෛද්‍ය පීඨය දේශීය සිසුන්ට වසා දමලා හරියන්නෙ නෑ.”

Related posts

South-west monsoon conditions to establish in next few days

Mohamed Dilsad

எதிர்கட்சித் தலைவருடன் முஸ்லிம் பாராளுமன்ற உறுப்பினர்கள் சிலர் கலந்துரையாடல்

Mohamed Dilsad

Prime Minister arrives in Tokyo

Mohamed Dilsad

Leave a Comment